අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම්
Related Articles
හෙට දිනයේ වැසි තත්ත්වය තවත් වැඩිවිය හැකි බව කාලගුණ අංශ පවසනවා.
දිස්ත්‍රික් නවයකට පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමද තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර දිස්ත්‍රික් 12 ක පවුල් දෙදහස් එකසිය පනස් එකක අටදහස් තුන්සිය විසි අට දෙනෙකු ආපදාවට ලක්ව සිටිනවා.
අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකින්ම ආපදා තත්ත්වයන් වාර්තා වුණා. අද අලුයම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.
අලුයම තුනට මෙම නායයාම සිදුවීමත් සමඟ මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඇල්ල පොලිසිය තවත් ආයතන කිහිපයක් සමග එක්ව මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර ගත්තා.
තවදුරටත් පස්කදු සහ ගල්වැටි කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිත කරන්නන් විමසිලිමත් විය යුතු බවයි අදාළ නිලධාරීන් පවසන්නේ.
අධික වර්ෂාවෙන් පුත්තලමේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග රැසක ජලය රැදී තිබීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අපට වාර්තා වුණේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
කිරම, වරාපිටිය, වළස්මුල්ල, ආදී ප්‍රදේශවලට අධික වැස්සක් ඇද හැලෙන අතර වළස්මුල්ල දෙයියන්දර මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
රන්න කට්ටකඩුව වැව මේ වන විට වාන් දමමින් පවතිනවා.
වරාපිටිය වැව පෝෂිත ප්‍රදේශය වන රන්මලකන්දට ඇද හැලෙ වැසි හේතුවෙන් එම වැවේ උපරිම ධාරිතාවට ජලය පිරීමත් සමඟ වාන් දොරටු විවෘත කෙරුණා.
බගවන්තලාව ප්‍රදේශයට අධික වැසි ලැබීමත් සමඟ කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.
එම ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා.
මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී තිබෙනවා.
අක්මීමන, බද්දේගම සහ යක්කලමුල්ල ප්‍රදේශවලටයි ගංවතුරෙන් වැඩි බලපෑම් සිදුව ඇත්තේ.
ගංවතුර හේතුවෙන් අවතැන්වූවන් සදහා රුපියල් ලක්ෂ විසිහපහක් වටිනා ද්‍රව්‍ය ආධාර ප්‍රදානය කිරීමට මහනුවර දිස්ත්‍රික්කයේ පරිත්‍යාගශීලීන් පිරිසක් එක්ව සිටිනවා.
ඔවුන් එක්රැස් කළ රුපියල් ලක්ෂ විසිපහක් වටිනා ද්‍රව්‍ය ආධාර තොගයක් මාතර ජනතාව වෙත ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අධික වැසි හේතුවෙන් සුබසාධක කදවුරුවල ලැගුම්ගෙන සිටින පිරිස් සඳහා මෙම අධාර ලබාදීමට නියමිතයි.
සහල් මෙට්‍රික්ටොන් 8 ක්, පරිප්පු මෙට්‍රික්ටොන් 1 ක්, සිනි, තිරිගුපිටි, ඖෂධ, පානීය ජල බෝතල් ඇතුළු ද්‍රව්‍ය මෙලෙස ප්‍රදානය කර තිබුණා.
මාතර අතිරේක ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ යම්කිසි ආකාරයක නායයාමක් පස්කදු කඩා වැටීමක් හෝ පොළොව ගිලා බැසීමක් සිදුවන්නේ නම් ඒ පිළිබද සැළකිලිමත් විය යුතු බවයි.
ප්‍රදේශ කිහිපයක පස් කදු කඩා වැටීම් සිදුව ඇති බවයි එම සංවිධානය තවදුරටත් පවසන්නේ.
බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්වලට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීම තවදුටරත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
අයහපත් කාලගුණය වගා බිම්වලටද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.
එළවළු වගාවන් රැසක් විනාශ විමට පටන් ගෙන ඇති බවයි ඌවපරණගම එළවළු ගොවින් පවසන්නේ.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් රැසක් වෙසෙන ඌවපරණගම, මැදවෙල, උඩුහාවර, ගලහගම, බෝඹුරුඇල්ල, අඹගස්දෝව ආදී ප්‍රදේශවල වගාවන්ට දැඩි හානි සිදුව තිබෙනවා.
මේ අතර හෙට දිනයේ දී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ.