ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
ඒ ලක්නව්හිදී ඊයේ ඕස්ට්‍රේලයාව සමඟ පැවති තරගය කඩුලු 5කින් පරාජයට පත්වීමත් සමගයි.
තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණ කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරායි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් කලකුණු 125ක අගනා සබදතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉණිම විශාල ලකුණු සංඛ්‍යාවකට ගමන් කරනු ඇති බවට ඉගි පළ කරමින්.
කෙසේ වෙතත් පැතුම් නිශ්ශංක 22වන පන්දුවාරයේ පැට්කුමින්ස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 61කට දැවී ගියා. දීර්ඝ කාලයක් ලකුණු අතරට නොපැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 82කදී ලකුණු 78ක් රැස්කළේ හතරේ පහර 12ක් ද සමගින්.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම විශාල බලාපොරොත්තු තබා තිබු පසුගිය තරග කිහිපයේදීම ලකුණු අතර රැදි සිටින කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේ දී ලබාගත හැකි වුයේ ලකුණු 9ක් පමණයි.
අනතුරව පිටියට පිවිසි ක්‍රීඩකයින් අතරින් චරිත් අසලංක හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකිරීමට ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් ඉඩ ලබා නොදුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සියලු බලාපොරොත්තු සුනු විසිනු කරමින්.
ධනංජ සිල්වා ලකුණු 7කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 8යි. දසුන් ශානක වෙනුවට කණ්ඩායම ඇතුලත් වු චාමික කරුණාරත්න ලබා ගත්තේ ලකුණු දෙකක් පමණයි.
කෙසේ වෙතත් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉණිම පන්දුවාර 43යි පන්දු 3කදී ලකුණු 209කට සීමා කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.
ලකුණු 210ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩෙවිඩ් වෝනර් ලකුණු 11කට දැවී ගියේ ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේයි.
ස්ටීල්ස්මිත් ලකුණු නොලබා දැවී ගියා. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා ජෝෂ් ඉංග්ලිෂ් ලකුණු 58ක් රැස්කළේ පන්දු 69ක දීයි.
පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මධුෂංක ලකුණු 38කට කඩුලු 3ක් බිද හෙලුවා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 215ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්තේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට පිට පිට අත්වු තුන්වන පරාජය ද හිමිකර දෙමින්.
පන්දු යැවීමේ දී කඩුලු 4ක් බිද දැමු ඕස්ට්‍රේලියා දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා තරගවේ වීරයා සම්මානය දිනා ගත්තා.
තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නේදර්ලන්තය අතර තරගය අද පස්වරුවේ ධරම්ශාලාවේහි දී පැවැත්වීමට නියමිතයි.