මෙවර මහ කන්නයේ වර්ෂාව සම්බන්ධව කාලගුණ විද්‍යා අංශ විසින් මේ වනවිට ලබා දී ඇති පුරෝකථන අනුව ඔක්තෝබර් මාසයේ දී බස්නාහිර හා දකුණ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කවලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබෙනවා.
එමෙන්ම අනෙකුත් ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනවා.
නොවැම්බර් මාසයේ දී බස්නාහිර, දකුණ හා තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙන අතර උතුර, උතුරුමැද, මධ්‍යම පළාත්වලට සාමාන්‍ය තත්ත්වය ඉක්මවූ වර්ෂාවක් ලැබීමට නියමිතයි.
දෙසැම්බර් මාසය තුළ ද මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර මෙවර මහ කන්නයේ දී වගාවට සුදුසු වර්ෂාපතනයක් ලැබීමට නියමිතව තිබෙනවා.
මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙවර මහ කන්නයේ දී වගා කටයුතු කන්න රැස්වීමේ දී තීරණය කළ දිනයන්හි දීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහ කන්නයේ දී වී වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධව කන්න රැස්වීමක් පසුගියදා (12) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවැත්වුණා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මහවැලි හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම කෘෂිකර්ම, ගොවිජන සේවා, මහවැලි හා වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම සියලුම ගොවි නියෝජිත මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
මෙවර මහ කන්නයේ දී හොඳ වර්ෂාපතනයක් ලැබුනත්, මීලඟ යල කන්නයේ දී නැවතත් දරුණු නියඟයකට මුහුණ පාන්නට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනුමානය කර තිබෙනවා.
විශේෂයෙන් එල් නිනෝ ක්‍රියාවලියේ බලපෑම නිසා මෙම තත්ත්වය සිදුවන අතර යල කන්නයේ දී වගා කටයුතු සාර්ථක කර ගැනීමට නම් මහ කන්නයේ දී ජලාශවලට ලැබෙන ජලය මනාව කළමණාකරණය කර ගත යුතුව තිබෙනවා.
එම නිසා ප්‍රධාන ජලාශ යටතේ ජලය නිකුත් කළ වහාම නියමිත දිනය තුළම ගොවිතැන් කටයුතු අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මෙම මහ කන්නය සාර්ථක කර ගත හොත් නැවත ලබන වර්ෂයේ දීවත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
මෙම වර්ෂය තුළ සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක්ද මතු නොවු බව කී අමාත්‍යවරයා අපේ රට සහළින් ස්වයංපෝෂණය කිරීම සඳහා කටයුතු කළ ගොවි ජනතාවට ජාතියේ ප්‍රණාමය පිදිය යුතු බවද කියා සිටියා.
කෙසේ වුවද කන්න රැස්වීමේ දී තීරණය කරන දිනට වගා කටයුතු ආරම්භ නොකරන ගොවීන්ට වගා හානියක දී ගෙවන වන්දි මින්පසු නොගෙවීමට ප්‍රතිපත්තිමය තීරණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙන ඇති බවද අවධාරණය කළා.