fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ඇමති විජයදාසගේ නිරීක්ෂණයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 11:51

අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ඇමති විජයදාසගේ නිරීක්ෂණයට

කොළඹ, අළුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්වය හා ඉඩ කඩ ප්‍රමාණවත් නොවීමට විසදුම් වශයෙන් සහ නවීණ තාක්ෂණයෙන් මෙන්ම නව පහසුකම්වලින් යුත් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර ඇති අලුත්කඩේ, අධිකරණ මාවතෙහි අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් ඊයේ (2023.10.10) පස්වරුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා.

ඉදි කිරීම් කටයුතු කිරීමේදී පවතින බාධාවන් පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම සිදු කළා.

මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් මෙහිදී විශේෂයෙන් නිරීක්ෂණයට ලක් වු අතර, එම ගොඩනැගිල්ල ඉදි කිරීමෙහි ප්‍රගතිය හා ඒ සම්බන්ධව පවතින ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.

අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහල් 15 කින් යුත් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නියමිතව ඇති අතර, ඉන් මහල් 06 ක කටයුතු කඩිනමින් අවසන් කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම මහල් 06 හි ඉදි කිරීම් වලින් සීයයට 35 ක ඉදි කිරීම් අවසන් කර ඇති අතර, 2024.07.31 වන දින වන විට එහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණ ඉදි කිරීම සදහා අක්කර 06 ක ඉඩමක් වෙන් කර ඇති අතර මහල් 15 කින් යුත් අධිකරණ ශාලා 40 කින් සමන්විත මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලක්, මහල් 14 කින් යුත් දිසා අධිකරණ හා මහාධිකරණ ගොඩනැගිලි සංකීර්ණයක් ,මහල් 14 කින් යුත් අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ආයතන ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් හා මහල් 14 කින් යුත් විනිසුරු පුහුණු මධ්‍යස්ථානය, නව නීති මධ්‍යස්ථානය, විනිසුරු නිල නිවාස ඇතුළු පහසුකම් සපයමින් ගොඩනැගිලි සංකීර්ණයක් වශයෙන් මෙහි ගොඩනැගිලි සංකීර්ණ හතරක් ඉදි කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් ගොඩනැගිලි සංකීර්ණ තුනක වැඩ ආරම්භ කර ඇති අතර , මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය මෙහි ඉදි කිරීම් කටයුතුවලට උපදේශකත්වය ලබා දෙයි.

අධිකරණ පියස ව්‍යාපෘතිය අවසානයේදී මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ , වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ , මහෙස්ත්‍රාත් අධිකරණ ඇතුලු අධිකරණ පද්ධතිය සියලු පහසුකම් ද සහිතව මෙම පරිශ්‍රය තුළ ස්ථානගත වන අතර එකම ස්ථානයක් තුළින් සියලු අධිකරණ පහසුකම් ලබා ගැනීමේ හැකියාව මහ ජනතාවට උදා වෙයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ( ඉංජිනේරු) චලනී මුණසිංහ, අධිකරණ පියස ව්‍යාපෘති කළමණාකරු රංගන ජිනදාස යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ හා අධිකරණ පියස ව්‍යාපෘතියේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2023 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්