අවදානම් ප්‍රදේශවලින් ජනතාව ඉවතට – සහන කටයුතුවලට 600ක ආරක්ෂක බලඇණියක්
Related Articles
මාතර අත්තුඩාව ගංවතුර ආරක්ෂිත බැම්මට ඉහළින් ජලය ගලාඒමත් සමග ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් ජනතාව දැනුවත් කරමින් ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සිදුකෙරෙන බවයි මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් හයදහස් තුන්සිය එකකට අයත් පුද්ගලයින් විසිතුන් දහස් එකසිය අට දෙනෙකු ආපදාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට පවසනවා.
සහන කටයුතු සදහා 600කට වැඩි යුද හමුදා බලඇණියක් යොදවා සිටිනවා.
අධික වර්ෂාවත් සමඟ හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇති මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,376 දෙනෙකු මේ වනවිටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
ජල ගැලීම් හේතුවෙන් කොටුවී ඇති පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකෙරෙනවා.
මාතර නගරයට ගංවතුර පැමිණීම වැළැක්වීම සදහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ගංවතුර ආරක්ෂිත බැම්මේ ඉහළින් ජලය පැමිණීම වැළැක්වීම සඳහා වැලිකොට්ට දැමීම ඊයේ සිදුකෙරුණා.
කෙසේ වෙතත් මේ වනවිටත් එම ස්ථාන වලින් ජලය පිටාර ගැලීම ආරම්භ වී තිබුණ ද බැම්මේ ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවයි වාරිමාර්ග නිලධාරීන් පවසන්නේ.
එමෙන්ම නිල්වලා ගග අවට පිහිටි අනෙක් ආරක්ෂිත බැමි වලටද තර්ජනයක් නොමැති බව එම නිලධාරීන් තහවුරු කළා.
අත්තුඩාව බැම්මේ ඉහළින් ජලය පිටාර ගැලීම හේතුවෙන් පිලදූව , පාලටුව , තුඩාව , ගොඩගම , හිත්තැටිය ආදී ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සිදුකෙරෙනවා.
මේ අතර අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගග ඇතුළු සෙසු ගංගාවල ජල මට්ටම් ශීඝ්‍ර යෙන් ඉහළ යාමත් සමග විදුලිබල මණ්ඩලයේ මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබෙනවා.
අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස එම උප පොලේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහා කරන්නේ එවැනි විසන්ධි කිරීමක් සිදුවුවහොත් එමගින් විදුලිය ලබාදෙන ප්‍රදේශවලට දෙණියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උපපොලවල් මගින් විදුලිය ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.
එම උප පොලෙහි සේවකයින් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව සහ යාත්‍රා ස්ථාන ගතකර ඇති බවද අමාත්‍යවරයා සඳහා කරනවා.
මේ අතර නිල්වලා ගග ආශ්‍රිතව ද පහත් බිම් මෙන්ම මාර්ග රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.
දොඩංගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටව පවතින අතර අද උදෑසන වනවිට ගිං ගගේ බද්දේගම ජල මාපාංකය සටහන් වුණේ 5යි දශම 15ක් ලෙසයි.
උඩුගම මාපලගම , නාගොඩ , කුරුපනාව , උනනවිටිය , බද්දේගම, අගලිය ඇතුළු ප්‍ර දේශ රැසක මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කොටුවී සිටින ජනතාවට සහන ලබාදීමට සහන කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.
නාවික හමුදාව මේ සඳහා සහාය ලබාදෙමින් සිටිනවා.
ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල , ඇල්පිටිය, නාගොඩ , ඉමදූව සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට , මතුගම යන ප්‍රදේශවලට එම නිවේදන බල පැවැත්වෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර , අකුරැස්ස සහ හක්මන ප්‍රදේශවලට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර අයහපත් කාලගුණයෙන් සමස්තයක් ලෙස පුද්ගලයින් 54,440 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේත් ප්‍ර දේශ රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.