සබරගමුවේ දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් 100ක් ගුරු සේවයට
Related Articles
සබරගමුව පළාතේ රජයේ පාසල්වල දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් ලෙස කටයුතු කල සිය දෙනෙක් (100) වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ ස්ථීර තනතුරු සඳහා පත් වීම් ප්‍රදානය පසුගිය දා (06) සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
වර්ෂ 2015 දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් 445 දෙනෙකු මෙලෙස ගුරු සහයකයින් ලෙස දෙමළ මාධ්‍ය පාසල් සදහා බදවා ගනු ලැබුවා.
එලෙස බදවා ගනු ලැබූ ගුරු සහයකයින් ගුරු පුහුණු විද්‍යාල වෙත පුහුණු වීම් සඳහා දෙවසරක් යොමු කර ඉන් සමත් වූ පිරිස මෙලෙස ගුරු සේවයේ ස්ථීර තනතුරු සඳහා බදවා ගනු ලබනවා.
ගුරු සහයකයින් සඳහා මාසිකව රුපියල් දස දහසක දීමනාවක් ලබාදෙනවා.
මෙදින (06) ගුරු සේවයේ III ශ්‍රේණියට බදවා ගනු ලැබු සියලු දෙනාට ගුරු සේවයට හිමි වැටුප් හා වරප්‍රසාද හිමි වෙනවා.
දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් මෙලෙස ගුරුවරුන් ලෙස බදවා ගනු ලැබුවේ සබරගමුව පළාත තුළ දෙමළ මාධ්‍ය උපාධිධාරින්ගේ හා ඩිප්ලෝමාධාරින්ගේ පැවති හිඟය හේතුවෙනි.
මීට පිලියමක් ලෙස මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වලින් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් සබරගමුව පළාතේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් ලෙස ද බදවා ගනු ලැබුවා.
මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස්.වීරසූරිය, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, රාජ්‍ය කොමිෂන් සභා ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් චාමර බමුණුආරච්චි, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ඩයස් පුෂ්පකුමාර, සැලසුම් අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.