fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා ඇරඹේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 16:17

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති “DIGIECON 2030” වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමිනි.

ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මගින් හැකි වන බවත්, ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සඳහා ඩිජිටල් ආර්ථික සැලැස්ම සමාජගත කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙසේද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ “DIGIECON 2030” වැඩසටහනේ සමාරම්භය මෙම මස 11 වන දා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකයකට ශ්‍රී ලංකාව පත් කිරීමේ පරිවර්තනීය වෙනසත්, ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථික සැලැස්මක් ඇති කිරීමත් මෙමගින් අපේක්ෂා කරනවා. දැනට ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය සකස් කර අවසන් වී තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා එම ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටු සභාපතිවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කළා.

ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලසුම් මගින් හැකි වෙනවා. ඒ හරහා ඉදිරි දශකයේ දී ශ්‍රි ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට ද හැකියාව ලැබෙනවා.

ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනවා. එය 2030 වන විට 15 % ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහනේ සමාරම්භය ඔක්තෝම්බර් එකොළොස් වැනි දා සිදු කෙරෙනවා. ඊට සමගාමීව සමුළු සම්මන්ත්‍රණ හා වැඩමුළු 23ක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා දායකත්වය සපයන පෞද්ගලික ආයතනවලටත් මගේ ස්තුතිය පිරිනමනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සභාපති අජන්ත අතුකෝරාළ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති (IESL) මහාචාර්ය රංජිත් දිසානායක, NERDC හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන්ති ප්‍රනාන්දු, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සභාපති ඇලෙන්සෝ ඩෝල් (Mr.Alenzo Doll) යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්