fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වෙනවා – ජනපති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 05:47

පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වෙනවා – ජනපති

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින බවත් දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන මෙම ත්‍රිත්ව අර්බුදය හමුවේ මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබඳ දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ  (05) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය අමතමිනි.

ඉරානයේ උප ජනාධිපති හා ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් (Ali Salajegheh) මහතා ද මෙම සමුළුවට එක්ව සිටි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරානයේ උප ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ හා සමගාමීව ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී සිදු වුණා.

දේශගුණික විපර්යාවලට මුහුණදීම සඳහා දෙරට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ එහිදී සාමුහිකව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ එහිදී නායකයන් අදහස් හුවමාරු කර ගත්තා.

රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව සලසා දෙමින් 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව මෙම සැසිය සංවිධානය කරනු ලැබුවා.

සමාරම්භක උත්සවය අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරු සහ පරිසර අධිකාරියේ සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“මනුෂ්‍ය වර්ගයා අද සිය පැවැත්ම පිළිබඳ ඉතා දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන “ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය” එකිනෙකට සම්බන්ධවීම නිසා ඇතිවී තිබෙන බලපෑම්, පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ පෘථිවියටද තර්ජනයක් වෙමින් විශාල හානියක් සිදු කරමින් තිබෙනවා.

අපි පෘථිවිය මත දැඩි පීඩනයක් ඇති කරමින් සිටින අතර මෙම “ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය” මේ වන විටත් ග්‍රහලෝක සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.‍

ලෝකයේ හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් පමණ මේ වන විට වඳ වී ගොස් තිබෙනවා.

ඒ වගේම ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම සහ ආක්‍රමණශීලි විශේෂ හඳුන්වාදීම හේතුවෙන් 22% ක් වඳවීමේ අවදානමට ලක්ව තිබෙනවා.

මෙලෙස වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතිනවා.

සොබාදහමේ සහ ජෛව විවිධත්වයේ පිරිහීම හේතුවෙන් දුප්පත්කම, කුසගින්න, සෞඛ්‍යය, නගර, කාලගුණය හා දේශගුණය, සාගර සහ ගොඩබිම සම්බන්ධ තිරසර සංවර්ධන ඉලක්ක 44ක් අතුරින් 35 ක් කරා යන වත්මන් ගමන් මගේ ප්‍රගතිය අඩාල වී තිබෙනවා.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත් විට, 2030 – 2052 අතර කාලය වන විට දැනට පවතින සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයට සාපේක්ෂව තවත් 1.5% කින් ගෝලීය උණුසුම වැඩි විය හැකි බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයඇස්තමේන්තුගත කර තිබෙනවා.

පසුගිය දිනක මම විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වන තරුණ විද්‍යාඥවරියකගේ වෙබ් අඩවියක් කියවා බැලුවා.

ඇයගේ නම සංජලී ද සිල්වා.දේශගුණික විපර්යාසවල බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවට දිනපතා දැනෙනවා බව ඇය එහි සඳහන් කර තිබෙනවා.

“ෆොසිල ඉන්ධන දහනය කරමින් සිදු කරන කර්මාන්ත සහ “දේශගුණික පාරාදීසය” නැවැත්වීමට තම කාර්යභාරය ඉටු කිරීමට අකමැති රටවල් විසින් සිදු කරන වගකීම් විරහිත ක්‍රියාවන් නිසා මෙම බලපෑම් විශාල වශයෙන් ඇතිවී තිබෙනවා.

මගේ පවුල වන මගේ රටේ ජනතාවට මීට වඩා දෙයක් ලැබිය යුතුයි” මම මුළු හදවතින්ම ඇය සමඟ එකඟ වෙනවා.

ජර්මන් වොච් සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරන දේශගුණික අවදානම් දර්ශකය මගින් ඇගේත් මගේත් රට වන ශ්‍රී ලංකාව, ආන්තික කාලගුණික සිදුවීම්වල ඉහළම අවදානමට නිරන්තරයෙන් ලක්වන රටවල් අතර ස්ථානගත කර තිබෙනවා.

ගෝලීය වශයෙන් සිදුවන විමෝචනය හමුවේ ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් 0.03%ක් වන විමෝචනය නොසලකා හැරිය හැකි වූවද, පැරිස් සම්මුතිය තුළ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) හි 2030 සඳහා අපගේ ඉලක්කයන් වී ඇත්තේ හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම, ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම, වන ආවරණය 32%ක් දක්වා ඉහළ නංවා ගැනීම, 2042 වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත්වීම සහ 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වීමයි.

COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී එළි දක්වන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම මගින් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු සොබාදහම පදනම් කරගත් විසඳුම් සීඝ්‍රයෙන් වැඩි කිරීම අරමුණු කරගෙන තිබෙනවා.

2050 වන විට ශ්‍රී ලංකාවේ ශුද්ධ ශුන්‍ය විමෝචනය ළඟා කර ගැනීමේ මාර්ග සිතියම COP 28 සමුළුවේදී එළි දැක්වීමට අපේක්ෂා කරනවා.

කුන්මිං- මොන්ට්‍රියල් (Kunming-Montreal) ගෝලීය විවිධත්ව රාමුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව 2016 සිට 2022 දක්වා වූ ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම අලුත් කිරීමේ ක්‍රියාවලියේ ද අප නිරතව සිටිනවා.

ශ්‍රී ලංකාව ගෝලීය ජෛව විවිධත්ව උණුසුම් කලාප 36 න් එකක් වන බැවින්, පෞරාණික පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සඳහා ජීවීන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස මම පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් සාමාන්‍ය සහ අන්තරායකර අපද්‍රව්‍ය කාණ්ඩ නවයක් ආවරණය වන පරිදි කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළේ රට තුළ රසායනික ද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමටයි.

ශ්‍රී ලංකාව 2019 වසරේ දී තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කළා.

හරිත ප්‍රසම්පාදනය පිළිබඳ ප්‍රතිපත්තිය සහ හරිත නාමකරණ රාමුව මේ වසරේ දී ක්‍රියාත්මක වෙනවා.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දූෂණය යන ත්‍රිත්ව අර්බුදය විසඳීම සඳහා නව දැනුම සහ භාවිතයන් යොදාගැනීමට නව දේශගුණික විපර්යාස පනතක් සහ ජාතික පාරිසරික පනතක් සම්පාදනය කිරීමට මගේ රජය විසින් කටයුතු කරනු ලබනවා.

ඒ වගේම හරිත ආර්ථිකයකට පරිවර්තනය වීම අප ආරම්භ කර තිබෙනවා.

නමුත් ඒ සඳහා පිරිවැයක් අවශ්‍යයි.

2023 සිට 2042 දක්වා වන දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5ක් අවශ්‍ය වෙනවා.

2050 වන විට ශ්‍රී ලංකාවේ ශුද්ධ ශුන්‍ය විමෝචනය ළඟා කර ගැනීමේ මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100කට වඩා අවශ්‍ය වෙනවා.

එතැනින් ලයිස්තුව ඉවර නැහැ.අප මේ සඳහා අවශ්‍ය සම්පත් සඳහා මූලාශ්‍ර සොයාගන්නේ කොහෙන්ද?

අපට රට තුළින් මෙම මුදල් සොයා ගැනීමට හැකියාවක් නැහැ.

මෙය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින ප්‍රශ්නයක් නොවෙයි.

2030 දක්වා වන ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) සපුරාලීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.9ක් අවශ්‍ය වෙනවා.

2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් හරිත බලශක්ති තාක්‍ෂණය සඳහා තවත් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා.

COP 27 හි දී, දේශගුණික ව්‍යසනයෙන් පීඩාවට පත් වූ සහ අවදානමට ලක්විය හැකි රටවල් සඳහා සිදුවූ හානි සහ පාඩු සඳහා අරමුදල් සැපයීමට එකඟතාවක් ඇති වුණා.

ෂාර්ම් එල් ෂෙයික් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම මගින් පරිවර්තනය වීම පිළිබඳ කමිටුවක් පිහිටුවනු ලැබුවා.

එම කමිටු රැස්වීම්වලදී සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෑත කාලීන සැසිවාරවලදී සාකච්ඡා වු ප්‍රධාන ප්‍රශ්න මේ වන තෙක් විසඳි නැහැ.

මහා බල එදිරිවාදිකම්, භූ දේශපාලනික අවශ්‍යතා සහ බොහෝ අවස්ථාවල තම තමන්ගේ දේශීය ප්‍රතිපත්ති මගින් ආධිපත්‍යය දරනු ලබන වාතාවරණයක් තුළ දේශගුණික විපර්යාස වැනි මානව පැවැත්ම සඳහා පවතින අභියෝග සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ගෝලීය නායකයින්ට නොහැකි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

නිදසුනක් ලෙස දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේදී ලබන වසර තුළ ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වයක් අපේක්ෂා කළ නොහැකියි.

ලබන වසර එක්සත් ජනපදයට මැතිවරණ වර්ෂයක් වනු ඇති අතර ප්‍රථමයෙන්ම දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන්නන් සහ මෙම ප්‍රශ්නය විසඳීමට බැරෑරුම් ලෙස කටයුතු කරන අය අතර දේශීය වශයෙන් පවතින වාද විවාද ජයගත යුතුව පවතී.

ඒ වගේම යුක්‍රේන යුද්ධය විසින් යුරෝපය ද බැඳ තබා තිබෙනවා.

ඉන්දු පැසිෆික් කලාපය තුළ පවතින ආතතිය තවදුරටත් උත්සන්න විය හැකියි.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළුව විසඳීමට ගෝලීය සංසද ගණනාවක් උත්සාහ කර තිබෙන අතර බ්‍රිජ්ටවුන් මුලපිරීම, ජනතාව සහ පෘථිවිය සඳහා වන පැරිස් ගිවිසුම සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ බොහෝ මුල පිරීම් ඊට ඇතුළත්.

මේ වන විට මතුව ඇති ගැටළු සහ ඒ සඳහා ඇති විසඳුම් පෙනෙන්නට තිබෙනවා.

නමුත් අඩුවක්ව පවතින්නේ මුදල්, නායකත්වය සහ ක්‍රියාවයි.

ඒ නිසා, ආසියා-පැසිෆික් කලාපයේ සිටින අප සහ ගෝලීය දකුණේ අනෙකුත් රටවල විකල්ප නායකත්ව යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීම යන පාරිසරික ගැටළුවලට විසඳුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන ස්ථානයට පත්වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා අවම වශයෙන් වගකිව යුතු රටවල් අලාභයේ අසමානුපාතික කොටසක් දරන්නේ නැති බව සහතික කිරීම සඳහා අපට දේශගුණ යුක්ති සංසදයක් අවශ්‍ය වෙනවා. මෙය කළයුතු බවට අප සාමුහික හඬක් නැගිය යුතුයි.

අලාභ හා පාඩු සම්බන්ධ අරමුදල පිළිබඳ විවාදය අඛණ්ඩව පවතින අතර, අප පහත සඳහන් දේ පිළිබඳව ද එහිදී අවධාරණය කළ යුතු වෙනවා.

අප සතුව ඇති මුදල් නොසැලකිය යුතු යි, නමුත් අපි අවම වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන මුලපිරීම සඳහා වන බිලියන 100ක මුදලින් මේ කටයුතු ආරම්භ කර එය ක්‍රියාවට නංවා ධනාත්මක ප්‍රතිඵල ලබා ගනිමු.

සංවර්ධිත ආර්ථිකයන් අවම වශයෙන් 2040 වන විට ඔවුන්ගේ ශුද්ධ ශුන්‍ය විමෝචන ඉලක්ක සපුරා ගැනීම සඳහා කැපවිය යුතුයි.

මෙම ඉලක්කවලට අනුකූලව කටයුතු කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත්, එවැනි රටවල් විසින් ලෝකයේ සෙසු රටවලට වන්දි ගෙවිය යුතුයි.

එවිට එම අරමුදල්, සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීම, ඒ සඳහා අනුවර්තනය වීම සහ දේශගුණික සමෘද්ධිය අත්කර ගැනීම සඳහා වන මූල්‍ය අවශ්‍යතා සදහා යොදාගත හැකියි.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිළිබඳ ගෝලීය අභිලාෂයන් ප්‍රමාණවත් නොවීම සැබැවින්ම කනගාටුවට කරුණක්.

සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස ගැටළු විසඳීම සඳහා අවධානය යොමු කිරීමට අවශ්‍ය ඇපකර ලබාදීමට සහ පුද්ගලික අරමුදල් ලබාදීම දිරිමත් කිරීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවෙහි ශේෂ වී පවතින අරමුදල් භාවිතා කිරීමේ අවශ්‍යතාවය බ්‍රිජ්ටවුන් මුලපිරීම මගින් පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා.

නව සංවර්ධන බැංකුව හරහා සිදුකරන පරිමාණයෙන් සහනදායී මූල්‍යකරණයේදී ඇතිවන අතිරේක පරිමාවන් ද මේ සඳහා තීරණාත්මක අවශ්‍යතාවයක් වෙනවා.

දේශගුණික විපර්යාස ආශ්‍රිත ආයෝජනයන් මගින් දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන අතර ඒ සඳහා කෙටි කාලීන ඉහළ පිරිවැයක් සහිත කඩින් කඩ සපයනු ලබන පුද්ගලික අරමුදල් මගින් මුදල් ලබාදිය නොහැකියි.

පවතින ගෝලීය මූල්‍ය දැඩිවීමේ තත්ත්වය, නව සංවර්ධන බැංකුව (NDB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හි වෙළඳපොළ සම්බන්ධ ණය අනුපාත ඉහළ නංවන අතර, ණය ගන්නා රටවල්වලට තවදුරටත් මූල්‍ය බර පැටවීම වළක්වා ගැනීම සඳහා එවැනි අනුපාතයන් සීමා කිරීමේ විකල්පය හෝ වෙනත් ක්‍රම සලකා බැලීම සඳහා පවතින තත්ත්වය ද සුදුසු අවස්ථාවක් වෙනවා.

මෙම ගෝලීය මූල්‍ය ආයතනවල තීරණ ගැනීමේ අධිකාරීන් තුළ, සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ සහ ගෝලීය දකුණේ වැඩි හඬක් තිබුනේ නම්, බොහෝ කලකට පෙර ඉහත සඳහන් කළ මුලපිරීම් තුනම දේශගුණික න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට තිබුණා.

අඩු ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන ලබාදීම සම්බන්ධයෙන් කෙන්යාව සිදු කර ඇති කැඳවීම පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුයි.

මේ සියල්ලටම සමාන්තරව, හානි සහ පාඩු පිළිබඳ අරමුදලේ කටයුතු ද අප විසින් අවසන් කළ යුතුයි.

සංවර්ධනය වූ සියලුම රටවල් මේ සඳහා දායක විය යුතු බව මම විශ්වාස කරනවා.

2050 ඉලක්කය ඉක්මවා යන සංවර්ධිත රටවල් වලින් ද අප ස්චේඡා දායකත්වයන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

යෝජනාවන් එකක් හෝ දෙකක් මගින් දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දේශගුණික සාධාරණත්වය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමේ ක්‍රියාවලියේ ආරම්භය මෙයයි. එය ජීවත්වීමේ අයිතියේ හරයයි.

අනෙකුත් සියලුම අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ ජීවත්වීමේ අයිතිය තුළයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තමන්ට පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීමට අකමැති රටවල් ජන සංහාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත් වනු ඇති බව ප්‍රකාශ කළ යුතුයි.”

ඉරානයේ උප ජනාධිපති සහ ඉරානයේ පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අලි සලාජෙග් (Ali Salajegheh) මහතා ද, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ එලිසබෙත් මරුම ම්රෙමා (Elizabeth Maruma Mrema) ළමා හා යෞවනයන් සඳහා වන ප්‍රධාන කණ්ඩායමේ නියෝජිත ඇනිව මරී ක්ලාක් (Aniva Marie Clark) යන මහත්ම මහත්මීන් සහ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල නියෝජිතයින් වෘත්තිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2023 05:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්