fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 11:29

ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළට

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මිටර 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම වයඹ පළාතේ මෙන්ම මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ප්‍රදේශ රැසකට අධික වැසි ලැබීමත් සමඟ ජලාශ කිහිපයකම ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

නිල්වලා ගංගා ද්‍රෝනියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කොටපොළ , පිටබැද්දර , පස්ගොඩ , අකුරැස්ස ,අතුරලිය , මාලිම්බඩ, තිහගොඩ ,මාතර හා දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ දෙපස පහත්බිම් ජලයෙන් යට විය හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජලමට්ටම ද ඉහළ යමින් පවතිනවා.

අත්තනගලු ඔයේ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව වැසි ලැබෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව කුඹුරු හා පහත්බිම් කිහිපයක් ජලයෙන් යටවී පවතිනවා.

බණ්ඩාරගම අටලුගම සිට කිම්මන්තුඩාවට ගමන් ගන්නා මාර්ගය ද ජලයෙන් යටවී ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.

දක්ෂි අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා මතු වුණා.

බණ්ඩාරගම උයන්වත්ත වැව පිටාර ගලමින් පවතිනවා.

පාලින්දනුවර හා බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව කුඩා ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවිය හැකියි.

මේ පිළිබද ජනතාවට විශේෂ අවධානය යොමු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කිරම ඔය පිටාර ගැලීමෙන් වලස්මුල්ල දෙයියන්දර මාර්ගය යාය පාළම ප්‍ර දේශයේ මුළුමනින්ම ජලයෙන් යටවී තිබෙනවා.

වාහන ගමනාගමනය ද නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ගිං ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් නාගොඩ බද්දේගම යන ප්‍ර දේශවල පහත්බිම් ජලයෙන් යටවී පවතිනවා.

නාගොඩ කුරුපනාව මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා මතු වුණා.

මධ්‍යම කඳුකරයට ද තද වැසි ලැබෙමින් පවතිනවා.

ඒ අනුව කාසල්රී හා මාවුස්සා කැලේ යන ජලාශවල ජලමට්ටම ඉහළ යමින් පවතිනවා.

සති අන්තයත් සමඟ දීර්ඝ නිවාඩුවක් පවතින බැවින් බොහෝ දේශිය සංචාරකයන් නුවරඑළියට පැමිණෙන බැවින් ප්‍ර දේශයේ මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස නුවරඑළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් ද පවතිනවා.

රත්නපුරේට අධික වැසි ලැබීමත් සමඟ කළු ගගේ ජලමට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

කළු ගඟේ ගංවතුර අනතුරු ඇඟවීමේ සීමාව ද අද උදෑසන වන විට පසුකර ගිය බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මහවැලි ගඟේ ජල පෝෂක ප්‍ර දේශවලට ඇද හැළෙන වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් අද අළුයම විවෘත කෙරුණා.

මෙමගින් තප්පරයට ඝන අඩි 2060ක ජල ධාරිතාවක් පහළ විට්ටොරියා ජලාශයට මුදා හැරෙනවා.

පොල්ගොල්ල වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණය කරන පිරිස වඩාත් සුපරීක්ෂාකාරී වන ලෙසයි අදාළ අංශ දැනුම් දෙන්නේ.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2023 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්