fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 09:48

රට තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි

රටේ දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව ආහාර සමාලෝචනයක් සිදු කළ යුතුව ඇති බැවින් දැනට පවතින සහල් හා වී තොග පිලිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් සිදු කළා.

පසුගියදා මහනුවර ගන්නොරුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලුම නිලධාරින් සමඟ පැවැති එළඹෙන මහ කන්නය පිළිබඳ සමාලෝචන රැස්වීමේ දී අමාත්‍යවරයා මෙම විමසීම සිදු කළා.

එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් පෙන්වා දුන් පරිදි පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කර තිබෙනවා.

එමෙන්ම මෙවර යල කන්නයේදී වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසකි.

ඒ අනුව ගත් කළ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කර තිබෙනවා.

වී අස්වනු පිළිබඳ සළකා බලන විට මෙට්‍රික් ටොන් 3.5 සිට 05 දක්වා ප්‍රමාණයක අස්වැන්නක් හෙක්ටයාර් එකකින් ලබා ගෙන තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයක මෙට්‍රික් ටොන් 07 සිට 11 දක්වා වු අස්වැන්නක් ද ලබා ගෙන තිබේ. ඒ අනුව ආසන්න වශයෙන් හෙක්ටයාර් එකකින් ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 04ක් ලෙස සැළකිය හැකියි.

ඒ අනුව පසුගිය මහ කන්නයේ හා මෙවර යල කන්නයේ සමස්ත වී අස්වැන්න ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් වේ. ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31කි.

මෙරට මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 02කි.

එමෙන්ම වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වේ.

ඒ අනුව ගත් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් රට තුළ පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

එම සහල් ප්‍රමාණය මෙවර මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් ප්‍රමාණවත් වන අතර සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් අමාත්‍යවරයාට අවධාරණය කළා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ඉදිරි මහ කන්නය තුළ බෝග වර්ග 13ක් සැළසුම් කළත් වී නිෂ්පාදනය මෙන්ම බඩඉරිඟු, මිරිස්, අර්තාපල් හා මිරිස් සඳහා ප්‍රමුඛත්වය ලබා දී වගා කටයුතු සිදු කරන ලෙස ප්‍රකාශ කළා.

එමෙන්ම සහල් අතිරික්තයක් තිබේ නම් එම සහල් අතිරික්තය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය සැළසුම් කළ යුතුව ඇති බවත් අවධාරණය කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2023 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්