fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්ෂා රෝහලේ සිවු මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 05:58

අපේක්ෂා රෝහලේ සිවු මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබේ

රුහුණු මහ කතරගම දේවාල අරමුදලින් ඉදිකෙරන මහරගම අපේක්ෂා රෝහලේ සිවු මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම ඊයේ  (21) පෙරවරුවේ රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ඡ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් මෙම මුල්ගල් තැබීමේ උත්සවය පැවැත්වුණා.

මුල් ගල් තබමින් වැඩ ආරම්භ කළ මෙම සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 150 ක් වන අතර, මාස 05 ක් තුළ මෙහි ඉදිකිරිම් අවසන් කිරීමට නියමිතයි.

මෙහි ව්‍යාපෘති කළමණාකරණය සහ ඉදිකිරීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර, වාස්තු විද්‍යා සැළසුම්කරණය RAPA Chartered Architects ආයතනය විසින් නොමිලයේ සිදු කරනු ලැබෙනවා.

‌‌‌‌‌‌‌‌ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් සහ මෙහෙයවිම මත එම කතරගම දේවාල අරමුදල මගින් මෙම ඉදිකිරිම් සිදු කෙරෙනවා.

අපේක්ෂා රෝහල යනු අපේක්ෂාවන් පොදිබැදගත් ජනතාවට අපේක්ෂාවන් ඉටුකර ගැනීමට පසුබිම සකස් කරනු ලබන සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවත්, රට පත්ව ඇති මෙවැනි අවස්ථාවක සිදු කළ මෙම පරිත්‍යාගය පසුගිය වසර දෙක තුළ රට ගොඩනැගීමට දෙන දායකත්වයේ තමන් දුටු හොදම උදාහරණය බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසුවා.

1958 වසරේ ආරම්භ කරන ලද මහරගම අපේක්ෂා රෝහල ආරම්භයේදී පිළිකා රෝගීන් සඳහා විකිරණ තාක්ෂණය පමණක් ලබාදී ඇති අතර, එයට සමගාමීව ශල්‍යකර්ම ආරම්භ කර තිබෙනවා.

දැනට රෝගීන් 1000 කට ආසන්න ප්‍රමාණයක් සදහා නේවාසික පහසුකම් රෝහල සතු වන අතර, වාට්ටු 30 කින් යුක්තයි.

මේ වනවිට රෝහල සතුව රසායනාගාර පහසුකම්, විකිරණ තාක්ෂණික පහසුකම් සියල්ල මෙන්ම නව තාක්ෂණික ඉහළ වටිනාකමකින් යුත් Lanier Accelerator, Lodine 131 Treatment, CT Simulator ළමා ඒ්කක, උගුර කණ හා මුඛ, ස්නායු ඒකක, කාන්තා සායන ආදී විශේෂ ඒකක වලින් ද යුක්තයි.

මෙම අවස්ථාව සඳහා කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමි, අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමි, ගංගාරාම විහාරාධිකාරි කිරින්දේ අස්සජි නාහිමියන් ඇතුලු නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝරත්නය, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, විශ්‍රාමික ජනාධිපති ලේකම් ගාමිණි සේනරත්, වාස්තු විද්‍යා සැළසුම් ශිල්පී තිළිණ රත්නායක යන මහත්වරුන් ඇතුලු වෛද්‍ය හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 05:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්