අපේ ධීවරයින්ගේ පිහිටට ආ විදෙස් නැව
Related Articles
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් පෙරලී ගිය මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනෙක් බේරාගැනීමට විදෙස් වෙළඳ නෞකාවක් කටයුතු කර තිබෙනවා.
අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම ධීවරයන් වෙළඳ නෞකාවෙන් රැගෙන ගොඩබිමට ගෙනවිත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
අදාළ ධීවරයන් හම්බන්තොට ධීවර වරායෙන්, පසුගිය 02 වන දින පිටත්ව ගොස් තිබෙනවා.
පසුව එම යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්, ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් එම මුහුදු සීමාවේ දී බෝට්ටුව පෙරලී ආපදාවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MV INTERSEA VOYAGER’ නමැති වෙළඳ නෞකාව විසින් ආපදාවට පත් මෙම යාත්‍රාව නිරීක්ෂණය කර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව, ආපදාවට පත් ධීවරයින් මුදාගන්නා ලෙස එම නෞකාව වෙත උපදෙස් ලබා දී ඇති චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව, ධීවරයන් තිදෙනා හම්බන්තොට වරාය ආසන්නයට රැගෙන ඒමට අදාළ වෙළඳ නෞකාව වෙත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය උපදෙස් හා සම්බන්ධීකරණ කටයුතු ලබා දී තිබෙනවා.
අනතුරුව, වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 421 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොදවා ‘MV INTERSEA VOYAGER’ නමැති වෙළඳ නෞකාව මඟින් රැගෙන ආ ධීවරයින් තිදෙනා ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.