ආණ්ඩුව විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනතට පක්ෂන ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලමින් EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවා තිබෙනවා.
එහි දක්වා ඇත්තේ ඉහළ ගිය ජීවන වියදම මෙන්ම අසාධාරණ බදු බර හේතුකොටගෙන මෙරටෙහි වැඩකරන ජනතාව දැඩි පීඩාවකට ලක් වී ඇති බවත් මෙම පනත මගින් වැඩකරන ජනතාවගේ අනාගත සුරක්ෂිතතාව අහිමි වීම වැළැක්විය නොහැකි බවයි.
එබැවින් වැඩකරන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස මෙම පනතට පක්ෂව ඡන්දය භාවිතා නොකරන ලෙස ඉල්ලමිනුයි සියලුම මන්ත්‍රීවරුන් වෙත මෙම ලිපිය යවා තිබෙන්නේ.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේ පලකර සිටිමු.
EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනතට එරෙහි වීම රජය විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිතEPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනත සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාගේම අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
EPF/ETF ඇතුළු මෙම සේවක අරමුදල් සේවකයන්ගේ හා සේවා යෝජකයන්ගේ දායකත්වයෙන් සමන්විත අතර සේවකයන්ට තම සේවා කාලය අවසන්වී විශ්‍රාම ගිය පසු තම විශ්‍රාම කාලය නිසි ලෙස ගත කිරීමට අවශ්‍ය සුරක්ෂිත භාවය ඇති කිරීම මෙහි අරමුණයි.
විශේෂයෙන් රජය විසින් මෙම බදු සංශෝධන පනත මගින් අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශවල සේවය කරන මිලියන තුනකට අධික සක්‍රීය ගිණුම් හරහා සෘජු දායකත්වයක් දෙන පිරිස මෙන්ම, තවත් මිලියන 2කට වැඩි අනිකුත් සේවක අරමුදල් වලට හිමිකම් ලබන සේවකයන්ගේ එම අරමුදල්වලට අනාගතයේදී ලැබීමට නියමිත ප්රතිලාභ සෘජුවම කොල්ලකෑම සිදුකරයි.
මෙම අරමුදලට පනත මගින් 30% වැනි අසාධාරණ බදු අය කිරීම මගින් මේ රටේ වැඩකරන පන්තියේ සියලුම සේවකයන්ගේ අනාගත සුරක්ෂිතභාවය අහිමි කරනු ඇත.
ඉහළ ගිය ජීවන වියදම මෙන්ම අසාධාරණ බදු බර හේතුකොටගෙන මෙරටෙහි වැඩකරන ජනතාව ලක්ෂ දොළහකට අධික පිරිසක් මෙම වකවානුව තුල පමණක් මෙරට අතහැර ගොස් තිබේ.
එහෙයින් තවදුරටත් අසාධාරණ ලෙස පනවන ලද මෙවැනි බදු මගින් දැඩි පීඩාවට ලක්ව ඇති වැඩකරන පන්තිය තව තවත් කබලෙන් ලිපට වැටෙනු නොඅනුමානය.
එපමණක් නොව ඔබ සියලු දෙනාටම මේ රටේ වැඩකරන ජනතාව විසින් ඡන්දය ලබාදී පත්කර ඇති බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.
එබැවින් දැනට විවිධ හේතු මත පීඩනයට පත්ව ඇති වැඩකරන පන්තිය, මෙවැනි අසාධාරණ බදු සංශෝධන පනත් සමම්ත කර තවදුරටත් පීඩාවට පත් කිරීම සඳහා තම ඡන්දය ප්‍රකාශ නොකරන ලෙසට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
එසේම මෙම අරමුදල මංකොල්ලයට එරෙහිව වැඩ කරන පන්තිය සමග සිට ගන්නා ලෙසද, ඔබ සියලු දෙනාටම නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණීමටනම් වැඩකරන පන්තියේ ඡන්ද ලබා ගැනීමට අනිවාර්යෙන්ම සිදුවන බවද නැවත සිහිපත් කිරීමට කැමැත්තෙමු.
මීට, විශ්වාසී,
සමීර අලවිස්
මාධ්‍ය ප්‍රකාශක
EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය