තමන්ට සිදු වූ විශාල අසාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය ඊයේ (03) දින උදෑසන කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණියා.
ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණියකි .
ඇය 2022.10.22 දින කුවේට් රාජ්‍යයේ ( Sabah Al Salim City ) ගෘහ සේවය සදහා ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත සේවකයින් සිටින නිවෙසකටය .
එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම තරුණියගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් දූෂණයට ලක් කර තිබේ.
කෙටි කාළයක් ගත වනවිට මෙම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණිය ගැබ් ගෙන ඇති බව තේරුම් ගැනීමෙන් අනතුරුව , ඇයගේ නිවෙස වෙත රහසිගතව වෛද්‍යවරයෙකු ගෙන්වා , මෙම තරුණියගේ කැමැත්තෙන් තොරව ගබ්සා කිරීමක් සිදු කර තිබේ . එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස ඇය විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර තිබේ .
මෙම සිදුවීමෙන් පසුව මෙම තරුණිය අධික රුධිර වහනයකට ලක් වෙමින් සිටි අතර , එයින් දින තුනකට පසුව 2023.03.23 දින මෙසේ රෝගී වූ තරුණිය රෝද පුටුවක හිදුවා , ශ්‍රී ලංකාවට ආපසු එවීම සදහා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත මෙම දූෂණය සිදු කළ කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී තිබේ .
කුවේට් ගුවන් තොටුපොළ තුළ දී එරට ගුවන් සේවා නිලධාරීන් විසින්, මෙසේ රෝගී වී රෝද පුටුවකින් මළානික වී පැමිණ සිටින තරුණියගෙන් කරුණු විමසා ඇති අතර , එහිදී තමන් මුහුණ දුන් මෙම සිදුවීම එම නිලධාරීන් හමුවේ මෙම තරුණිය විසින් පවසා තිබේ .
එහිදී මෙම තරුණියගේ තත්වය ගුවන් ගමනක් සදහා සුදුසු මට්ටමක නොපවතින බැවින් මෙම ගුවන් ගමන නවතා, එම ගුවන් සේවා බලධාරීන් වහාම මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි .
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර , භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන මහත්වරුන් විසින් මෙම තරුණිය රෝහල් ගත කර තිබෙනවා.
ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන් , එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ කාළයක් දැඩිව ගැටෙමින්, මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක් වටිනා රුපියල් ලක්ෂ 68 ක වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි .
එසේ වන්දි මුදල් ගෙවීම මෙම කුවේට් ජාතිකයා ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සිර දඩුවම් විදීමට ලක් වීම සිදු වී තිබේ .
ඒ අනුව මෙම වන්දි මුදල, යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍රය සහ මෙම තරුණියගේ ගමන් බලපත්‍රය කුවේට් ජාතිකයා විසින් ලබා දීමෙන් අනතුරුව, මෙම තරුණිය ඊයේ (03) දින උදෑසන 06.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය.