fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව ලබන 5 සිට 8 දක්වා රැස්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 11:18

පාර්ලිමේන්තුව ලබන 5 සිට 8 දක්වා රැස්වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට පසුගියදා (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

පාර්ලිමේන්තුව එළඹෙන සතියේ 5 වැනි අගහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

සැප්තැම්බර් 5 වැනි අගහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුවේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතයි.

සැප්තැම්බර් 6 වැනි බදාදා පෙ.ව 10.30 ට විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2341/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ රෙගුලාසි විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව ප.ව 5.30 දක්වා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

සැප්තැම්බර් 7 බ්‍රහස්පතින්දා සහ 8 සිකුරාදා පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා මෙම විවාදය දෙවැනි සහ තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවා.

එසේම 8 වැනිදා ප.ව 5.30 පමණ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට ද නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2023 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්