රසායනික හා කාබනික පොහොර වර්ග දෙකම යෙදීම තුළින් අස්වැන්න වැඩි කර ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ දැන් අද වෙන කොට අපේ පොහොර ප්‍රථිපත්තියත් එක එක වෙලාවට, එක එක විදිහට වෙනස් වෙනවා, අපි එක වෙලාවක් 100% ක් කාබනික වුණා, දැන් මේ වෙන කොට 100% ක් රසායනික වෙමින් යනවා, හැබැයි මේක නෙමෙයි වෙන්න ඕන.
පොහොර සම්බන්ධයෙන් තිබුණ ප්රශ්නය තමයි, මට මතකයි 2019 මම කෘෂිකර්ම අමාත්‍යවරයා වෙලා ඉන්න වෙලාවේ හිටපු විශේෂඥයින් දැනුත් අනෙක් පැත්තට, මේ පැත්තට කථා කළා වුණත් මට මතකයි, ඒ අය කිව්වා රසායනික පොහොර පාවිච්චිය නිසා ලොකු පරිසර විනාශයක් වෙනවා, ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට ගොදුරු වෙන බවත්, ඒ එක්කම පොළව විනාශ වෙන බවත් ඒ අය කරුණු ඉදිරිපත් කළා, ඒ අය කියපු එක කාරණයක් තමයි උඩරට ප්‍රදේශවල පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා පහළ ජලාශ වල ඇල්ගී හැදෙන තත්වයකට පත් වෙනවා කියලා.
ඒක ඇත්ත කථාව.
ඒ පිළිබඳව ඉන්න විශේෂඥයින් ක්‍රමානුකූලව රසායනික පොහොර අඩු කරලා කාබනික පොහොර වලට යන්න කියලා.
ඒ වැඩසටහන මම ඉන්න අවදියේ පටන් ගත්තා, මට පෙර කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට හිටපු දුමින්ද දිසානායක මැතිතුමාගේ කාළයේත් ඒක පටන් අරගෙන තිබුණා.
අපි ඒක ඉස්සරහට අරගෙන ගියා.
නමුත් ඒ අතරේ මේක 100% ක් එක සැරේට කරන්න ගියා, ඒක අසාර්ථක වුණා.
දැන් ඒක 100% ක් අනෙක් පැත්තට හැරී ගෙන යනවා.
ඒකත් හොඳ තත්වයක් නෙමෙයි.
පෙර තිබුණු වාර්ථා, කරුණු ඉදිරිපත් කරපු අය, ඒ කරුණු ඉදිරිපත් කරපු කණ්ඩායමත් දැන් නිහඩ වෙලා ඉන්නවා.
ඒ නිසා අපි හිතනවා රසායනික හා කාබනික කියන පොහොර වර්ග දෙකම යෙදීම තුළින් තමයි අස්වැන්න වැඩි කර ගන්න පුලුවන්.
දැන් අස්වැන්න විදිහට ගත්තොත් දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 03 දෙනෙක්, හෙක්ටයාරයකට කිලෝ 11 000 කට වැඩියෙන් අස්වැන්න ගන්නවා.
මං ඒ අයගෙන් ඇහුවා මොනවද ඒ අය අස්වැන්න වැඩි කර ගන්න ගත්ත ක්‍රියාමාර්ග කියලා, ඒ අය විවිධ ක්‍රියාමාර්ග කිව්වා, ඒ ගොල්ල ගොයම් සිටුවන්න කටයුතු කිරීම, නියමිත ප්‍රමාණයටම රසායනික පොහොර යෙදීම සහ අතිරේකව කාබනික පොහොර යෙදීම පිළිබඳවත් ඒ අය කටයුතු කරලා තිබුණා.
එහෙම නම් අපිට පේනවා මේ දෙකම තියෙන්න ඕන කියලා.
අද කෘෂිකර්මයේ ඇති වෙලා තියෙන තත්වය තමා, අපි මේ මට්ටමට නිෂ්පාදනය වැඩි කර ගන්න අපි මහන්සි වෙන්න ඕන”