fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් පිරවුම්හල් ඉන්ධන ඇණවුම් නොකරයි

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2023 11:45

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් පිරවුම්හල් ඉන්ධන ඇණවුම් නොකරයි

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් අවම ඉන්ධන තොග පවත්වාගෙන යාම සඳහා ඇණවුම් සිදුකර නොමැති බවට නිරීක්ෂණය වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

වහාම ඇණවුම් සිදුකරන ලෙසයි එම අමාත්‍යාංශය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම් දෙන්නේ.

මේ අතර පසුගිය මාසයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී අවම තොග පවත්වාගෙන නොගිය පිරවුම්හල් වල පාලනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට පවරා ගත් බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්ටිවර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 50%ක ඊයේ දිනය වන විට අවම තොග පවත්වා ගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකර නැති බවට වාර්තා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් එකසිය එකෙන් හැටඑකක ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් 50%ක් ලෙස අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත් වී තිබෙනවා.

නිසි පරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහොසත් වු ඉන්ධන පිරවුම්හල් කිහිපයක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීම සහ අනෙකුත් පිරවුම්හල් වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුගිය ජුනි මාසයේ දී අමාත්‍යාංශය කටයුතු කළා.

නිසි ආකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් බලශක්ති අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.

අද උදෑසන 8.30වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන සංචිත පිළබදව ද අමාත්‍යාංශය මෙලෙස නිවේදනය කරනවා. ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 124,690ක් ද , සුපිරි ඩීසල් මේට්ට්‍රික් ටොන් 5651ක් ද, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 19903ක් ද සංස්ථාව සතුව පවතිනවා.

එමෙන්ම ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 4537ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 26539ක් ද පවතින බවයි නිවේදනය කරන්නේ.

ඊයේ දිනය වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාමට අසමත් වී ඇති සහ ප්‍රමාණවත් තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ඇණවුම් නොකරන ලද ඉන්ධන පිරවුම්හල් පිළිබදව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තොරතුරු හෙළිකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2023 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්