2024 නව පාසල් වාරය පෙබරවාරි මස 21 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා සිදු වූ ප්‍රමාදය ක්රමානුකූල ව යථා තත්වයට පත් කරමින් 2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුනම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ගිය වසරට සාපේක්ෂ ව ඉදිරියට පියවරක් තබමින් 2024 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව දැනටමත් පෙළපොත් මුද්‍රණය අරඹා ඇති අතර පෞද්ගලික අංශයට ඉදිරි මාසයේ ටෙන්ඩර් කැඳවා අදාළ පෙළපොත්වල මුද්‍රණ කටයුතු භාර දෙන බවත් 2023 වසරේ නොවැම්බර් මාසය වන විට එම පෙළපොත් මුද්‍රණය කර අවසන් වීමට නියමිත බවත් හෙතෙම පැවසී ය.
විදුහල්පතිවරුන්ට පාසල් මූල්‍ය හා කාර්යාලයීය පරිපාලන කටයුතු පහසුවෙන් කළමනාකරණය කරගැනීමට ඉවහල් වන පරිදි සංවර්ධන නිලධාරීන්ගෙන් සමන්විත නව සේවාවක් ආරම්භ කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය .
ඒ අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් දොළොස්දහසක පමණ පිරිසක් නව සේවා ව්‍යවස්ථාවක් සහිත කාර්ය මණ්ඩලයක් ලෙස පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව සලකා බලා පත් කරන බවත් හෙතෙම පැවසී ය.
එසේ ම පාසල්වල ජල හා විදුලි බිල් සඳහා ඉදිරි අයවැය මගින් යම් සහනයක් සලසා ගැනීමට ද මැදිහත් වී ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.