ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.
පසුගිය ජුනි මස 20 දින කෝපා කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශය කැඳවූ අවස්ථාවේදී මෙරට අධ්‍යාපන ක්ෂේත්රය හා සම්බන්ධ දත්ත පවත්වාගෙන යන අධ්‍යාපන කළමනාකරණ දත්ත පද්ධතිය (NEMIS) පිළිබඳ සාකච්ඡා වූ අතර මෙහිදී අනාවරණය වූයේ යාවත්කාලීන වූ ප්‍රමාණවත් දත්ත ප්‍රමාණයක් මෙම දත්ත පද්ධතිය සතු නොවන බවයි.
මේ නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ ඇතැම් ගැටලුවලට විසදුම් සොයාගැනීම අපහසු වී ඇති බවත් එබැවින් මෙම දත්ත පද්ධතිය හා සම්බන්ධවන සියලු පාර්ශ්වයන් සම්බන්ධකර ගනිමින් මේ පිළිබඳ සාක්ච්ඡා කළ යුතු බවත් තීරණය විය. ඒ අනුව මෙදින (07) කෝපා කමිටුව රැස්වී මේ පිළිබඳව අවශ්‍ය සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සිදු විය.
මෙහිදී කෝපා කමිටුව සභාපතිවරයා පෙන්වා දුන්නේ ගුරු හිගයක් පවතින පාසැල් පිළිබඳ දත්ත, ගුරු අතිරික්තයක් පවතින පාසැල් පිළිබඳ දත්ත, ළමුන් පිළිබඳ දත්ත, ගුරු පුරප්පාඩු පිළිබඳ දත්ත ආදිය නිවැරදිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යා යුතු බවයි. මෙහිදී පළාත් කිහිපයකම අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ද සූම් තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ කරගැනීම සිදු විය. මේ අනුව මෙම සියලු නිලධාරීන්ගෙන් දැනට පවත්නා දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව සහ එහි පවතින අපහසුතාවන් පිළිබඳ විමසා බැලීම සිදු විය.
එසේම සබරගමුව පළාතේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සකස්කොට පළාත තුළ පවත්වාගෙන යන දත්ත පද්ධතියක් පිළිබඳව ද එම නිලධාරීන් ගෙන්වා මෙහිදී පරීක්ෂා කළේය. මේ අනුව මෙම දත්ත පද්ධතියේ සාධනීය ලක්ෂණ පවතින බව පෙන්වා දුන් කෝපා කමිටුව ජාතික වශයෙන් මෙම පද්ධතිය දියුණුකොට පවත්වාගෙන යාමේ හැකියාව පරීක්ෂාකොට බලා ඒ වෙනුවෙන් උපකාර කරන ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට උපදෙස් ලබාදීම ද සිදු විය.
මේ අනුව සතියක් තුළ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මුණගැසී සාකච්ඡාකොට පවතින දත්ත පද්ධතියේ අඩුපාඩු සකස්කරන ආකාරය පිළිබඳ වාර්තාවක් දෙන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා උපදෙස් ලබාදුන්නේය.