එක්ස්ප්‍රස් පර්ල් නිසා පීඩාවූවන්ට වන්දි කඩිනමින් ගෙවන්න අධිකරණයෙන් නියෝග
Related Articles
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවනලෙස ඉල්ලා යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි එම විනිසුරු මඩුල්ල නම් කළේ.
මුර්දු ප්‍රනාන්දු / යසන්ත කෝදාගොඩ/ ශිරාන් ගුණරත්න /අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු එම විනිසුරුවරුන්.
ඔවුන් හමුවේ අදාළ පෙත්සම් අද කැඳවූවා.
එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පැවසුවේ පීඩාවට පත් තම සේවා දායකයන්ට මෙතෙක් වන්දි ලැබී නැති බවයි.
මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පැවසුවා.
තම සේවාදායකයින් ධීවර අමාත්‍යාංශය සහ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සමග සාකච්ඡා කළද මෙතෙක් වන්දි ලැබී නැති බවයි ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය පැවසුවේ.
විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට අවධාරණය කළේ වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවයි.
ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසද නියෝග කෙරුණා.
වන්දි ලබා ගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙස අගතියට පත් ධීවරයින් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ට ද නියම කළා.
වන්දි ගෙවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාළ වාර්තාවක් සැප්තැම්බර් 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කෙරුණේ.
අදාළ පෙත්සම් ඔක්තෝම්බර් මස 5 සහ 6 යන දිනවල යළි කැදවීමට ද නියම කෙරුණා.
අගරදගුරු හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.