අරාජිකත්වය පරාජය කළ දවස් 365
Related Articles
ලාංකීය දේශපාලන ඉතිහාසයේ කිසිදා කිසිකළෙක නොලියවුණු සිදුවීමක් සිද්ධවෙච්ච දවසක් අද.
මීට අවුරුද්දකට කලින් ඒ කියන්නේ 2022 ජුලි 09 වෙනිදා මේ රටේ අතිශයින්ම තීරණාත්මක දවසක් වුණා.
ජූලි මාසය ශ්‍රී ලාංකිය ඉතිහාසයේ සිදුවීම් රැසක් සිද්ධවෙච්ච මාසයක්. ජූලි 7යි කියන ජනවහර හැදුනේ හෙන්රි පේදිරිස් කියන ලාංකීය වීරවරයාව ජූලි 7 වනදා ඉංග්‍රීසින් ඝාතනය කරපු සිද්ධියත් එක්ක. ඒ එක්කම ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක්කරපු දරුණුම ඛේදවාචකයක් සිද්ධ වෙච්ච මාසයක් මේ ජූනි මාසය. ඒ ජාතීන් අතර අසමගිය ඇතිකළ ජූලි 23 වනදා කළු ජූලියයි. මෑතකාලීනව බැලුවොත් ජුලි 9 වෙනිදා ඒ වගේම ලියවුණු දවසක්. හැටනව ලක්ෂයක ජනවරමින් මේ රටේ විධායක ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාට තනතුර අතෑරලා රටිනුත් පලායන්න සිද්ධවුනේ ගිය අවුරුද්දේ අද වගේ දවසක ජූලි 09 වෙනිදා. අවුරුද්දක් ආපස්සට ගියොත් අරාජිකත්වයට ගිය මොහොතක් ඒක. ජනාධිපති මන්දිරය වටකරලා අරගලකරුවන් මිනිස් බිලි ඉල්ලද්දී රාජ්‍ය දේපළ විනාශ කරද්දී රට අරාජිකත්වයට ගිහිල්ලා තිබ්බේ. කවුරුත් අභියෝග භාර නොගත් වෙලාවක අගමැති ධුරයේ වගකීම රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් භාරගත්ත රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසත් අරගලකරුවන් යැයි කියා ගත් මිනිසුන් විසින් විනාශ කළේ රටට දැයට වටිනා පොත්පත් රැසක් ද සමගිනුයි. ඒත් මීට අවුරුද්දකට කලින් ඒ අරාජිකත්වයේ කළු අදුරත් සමගයි. මේ රට කිසිදා කිසි කලෙක කිසිවෙකුටවත් යළිත් ගොඩගන්න හැකිවෙයි කියා ඒ මොහොතේ කවුරුත්ම සිතුවේ නැහැ. රටේ සාමාන්‍ය ජනතාවත්, ජාත්‍යන්තරයත්, මොනව විදියකින්වත් මේ රට ගොඩගන්න පුළුවන් වෙයි කියා මොනම විදියකින්වත් හිතන්න නැතුව ඇති. හැබැයි අදට දවස් තුන්සිය හැටපහක් ගතවෙලා. කිසිවෙකුත් හිතපු නැති විදියට අරාජිකත්වයට ගිය රටක් යළි හිස ඔසවන්න පටන් අරන්. ඩීසල්, පෙට්‍රල් නැතිව කිලෝමීටර් ගණන් තිබ්බ දිග පෝලිම්, ගෑස් නැතිව උයාගෙන කන්නවත් නැතිව හිටපු රටවැසියන්. ලයිට්බිල ගෙව්වත් විදුලියත් නැතිව අදුරට සාප කරකර නිදිවරපු මිනිසුන්, එක් පැත්තකින් මේක හරියට විසාලා මහනුවරක් වගේ තිබ්බ යුගයක්.
ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යවා ම්ලේච්ඡත්වයේ ලේ මතින්, මළමිනි මතින් ජනතා විරෝධීව පාලනය ඩැහැගන්න බලන කුමන්ත්‍රණකරුවන්. විදේශ සංචිත හිදිල ගිය භාණ්ඩාගාරයක්. රුපියලේ අගය මස්තබාල්දු වෙච්ච ආර්ථිකයක්. විදෙස් රටකින් ණයක් තියා සහනයක්වත් දෙන්නේ නැති මොහොතක්. රට පාලනය කරන්න ජනාධිපතිවරයෙක් නැතිවෙච්ච රටක්. මේ සියල්ල හමුවේ අගමැති ධුරය භාරගත්ත රනිල් වික්‍රමසිංහ මහතා රටේ පාලනයේ වගකීම ජනාධිපති ධුරයත් භාර අරගෙන ගෙවුණු කාලය බැලුවොත් රටට සිද්ධවෙලා තියෙන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු සහනයක් රටට ලැබෙන්නෑ කියා බොහෝ දෙනෙක් කියද්දිත්, ජනපතිලෙසත් මුදල් ඇමති ලෙසත් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගයත් ජයගත්තා. ජාත්‍යන්තරය ඉදිරියේ කළු පැල්ලමක් විදියට තිබ්බ රට යළි යහපත් තත්ත්වයට ගේන්න ඒ ජනාධිපති ධුරයට අවුරුද්දක් යන්න කලින් පුළුවන් වුණා. මස්තබාල්දු වෙලා තිබ්බ රුපියලට පණක් ආවා. රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වුණා. නීතියේ ආදිපත්‍ය තහවුරු වුණා. විනාශ කරන්න, විනාශ වෙන්න ගිය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත වුණා. ශක්තිමත් වුණා. ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව දෙස යළි යහපත් ඇසින් බලන්න වුණා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව විතරක් නෙවෙයි ජපානය, චීනය වගේම ඇමෙරිකාවත් ලංකාව යළි ගොඩනගන්න අත හිත දෙන්න ඉදිරිපත් වුණා. වැටුණු රටක් ගොඩගත්ත හැටි ලෝකයා දැනුවත් කරන්න එම වගකීම භාරගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තරයෙන් ඇරයුම් පවා ලැබුණා.
අවුලෙන් අවුලට ගිය ලාංකීය ජන සමාජය යළි අවුරුද්දක් ගිය තැන ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණුනා. තෙල් පෝලිම් නැති, ගෑස් පෝලිම් නැති, විනාඩියකටවත් විදුලිය කැපෙන්නේ නැති රටක් බවට මේ ශ්‍රී ලංකාව යළිත් පත් කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, ආණ්ඩුවටත් මේ වෙනකොට හැකියාව ලැබිල තියෙනවා. එක පැත්තකින් බැලුවොත් දවස් තුන්සිය හැටපහකින් මේවගේ දෙයක්කළා කියන එකත් ලේසි පහසු නැහැ. වසර 40කට වැඩි දේශපාලන පරිණත භාවයත්, සහජ කළමනාකාරිත්වයත්, ජාත්‍යන්තරයේ මනා පිළිගැනීමත් නිසා රනිල් වික්‍රමසිංහ නමැති ඒ දේශපාලන සළකුණට යළි මේ ශ්‍රීලංකාව ප්‍රකෘතිමත් රටක් විදියට නගා සිටුවා අනාගතය සුබවාදී මාවතකට යොමු කරන්නට මේ වෙනකොට හැකියාව ලැබිල තියෙනවා.
අදුරු ජුලි 9 අද වෙනකොට සොදුරු ජූලි 09ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. සැලසුම්සහගත ගමන් මාර්ගයක් ඔස්සේ විස්සයි හතලිස් අට වෙද්දී මේ ශ්‍රී ලංකා ද්වීපය කාටත් අත නොපාන ශක්තිමත් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන දැවැන්ත මෙහෙයුමට මේ වෙනකොට යොමු කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබීම තව පරම්පරා ගණනාවක වාසනාවකි.