fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%කට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

hasiniek
By hasiniek ජූනි 19, 2023 18:00

මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%කට බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%ක් තීරු බදුවලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබාදී තිබෙනවා.

අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග එම අවසරය හිමිව ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්…

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දරන අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරයෙන් සමුගන්නා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියට ස්තූතිය පුද කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2023.06.19 දින අරලියගහ මන්දිරයේ දී මහ කොමසාරිස්වරිය හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා සහ බ්‍රිතාන්‍ය ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනුවස් මහ කොමසාරිස්වරිය ගත් නොපසුබට උත්සාහය ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 2019 වසරේ සිට ඇය ගේ ධුර කාලය තුළ දී විවිධ ක්ෂේත්‍රවල නිරත වෙමින් එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබාදුන් සුවිශේෂී දායකත්වය ද ඇගයිමට ලක් කෙරිණී. දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මෙන්ම වර්තමාන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තම ධුර කාලය තුළ ලබාදුන් සහයෝගය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන්ට මහඟු ශක්තියක් වූ බව මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය මෙම හමුවේ දී පැවසූවාය.

එක්සත් රාජධානිය මගින් ලබා දෙන “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යන තේමාව දරන GSP (වරණීය වෙළඳ) යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට එක්සත් රාජධානිය විසින් ගන්නා ලද තීරණය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සිය සතුට පළ කළ අතර එමගින් ශ්‍රී ලාංකේය අපනයන 92 % ක් සඳහා තීරු බදු සහන හිමි වීමට නියමිතය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ IMF අරමුදල් පහසුකම ලබාදීමෙන් පසු එක්සත් රාජධානිය විසින් නව ආයෝජන ව්‍යාපෘති ආරම්භ කරනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන, බැංකු සහ මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර කළමනාකරණය, සෞඛ්‍ය සේවා, හෝටල් සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවල සිදුකරන එක්සත් රාජධානි ආයෝජන වැඩිකරන ලෙස මෙහිදී ආරාධනා කළේය.

මහ කොමසාරිස් ධුරයට සමුදෙන හුල්ටන් මහත්මියගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි අග්‍රාමාත්‍යවරයා සුභාශිංසන එක් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

hasiniek
By hasiniek ජූනි 19, 2023 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්