fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව ජූනි 6 සිට 9 දක්වා රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2023 15:14

පාර්ලිමේන්තුව ජූනි 6 සිට 9 දක්වා රැස්වෙයි

නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු
සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මේ අනුව ජූනි 7 වැනි බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.

ජූනි 6 අගහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් ගුවන් සේවා පනත යටතේ අංක 2303/18 සහ 2304/46 දරන ගැසට් පත්‍රවල පළකළ නියෝග, වෙළද නැව් පනත යටතේ අංක 2261/49, 2261/50, 2261/51 ඇතුළු ගැසට් පත්‍රවල සදහන් නියෝග 13 ක්, නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනත යටතේ 2287/24 ගැසට් පත්‍රයේ සදහන් නියෝග විවාදයට ගැනීමට නියමිත බවද මහලේකම්වරිය පැවසුවාය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

ජූනි 7 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන “කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පාන ගැටලු” පිළිබද සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

ජූනි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත, 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග, (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග විවාද කිරීමට මෙහිදී එකඟත්වය පළවී ඇත.

අනතුරුව ප.ව 5.00 ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා හතක් විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතව ඇත.
එසේම “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” පත්කිරීම සඳහා වූ යෝජනාව ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

ජූලි 9 වැනි සිකුරාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව ‘රජයේ සියලු ආයතන රජය සතු ගොඩනැගිලිවල ස්ථානගත කිරීම’ සම්බ්න්ධයෙන් ගරු චමින්ද විජේසිරි මහතාගේ යෝජනාව, ‘වගා හානි සිදු කරන රිලවුන් ගහනය පාලනය කිරීම’ සම්බන්ධයෙන්  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ යෝජනාව, ‘සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම’ සම්බන්ධව  කිංස් නෙල්සන් මහතාගේ යෝජනාව සහ ‘දරුවන්ගේ ‍සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහනක් පාසල් මට්ටමින් ප්‍රචලිත කිරීම’ පිළිබඳ  රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ යෝජනාව මෙසේ විවාදයට ගැනීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2023 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්