fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අත්හදා බැලීම් සාර්ථක වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 10:41

ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අත්හදා බැලීම් සාර්ථක වෙයි

රාජ්‍ය අංශය අනුග්‍රහයෙන් ආරම්භ  කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය හා බණ්ඩාරවෙල කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය  ආරම්භ කර තිබෙනවා.

කහත්තේවෙල ඉදි කර තිබෙන මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අත්හදා බැලීම මේ වනවිට සාර්ථකව ඇතැයි ජනතා ගොවි සමාගම විසින් ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා.

රුපියල් මිලියන 100ක වියදමින් ඉදි කර තිබෙන මෙම Potato Chips අපනයනය ඉළක්ක කරමින් මෙරට අර්තාපල් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙඳපොලට යොමු කිරීම අරමුණු කර ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරට ඇතැම් ආහාර සැකසුම් ආයතන විසින් Potato Chips ආනයනය කරන අතර 2021 වර්ෂයේ දී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21කි.

එමෙන්ම දැනට අප රටේ පුද්ගලික අංශයෙන්  Potato Chips රටවල් කිහිපයකට අපනයනය කරනු ලබයි.

2021 දත්ත අනුව මෙරට නිෂ්පාදනය කෙරෙන Potato Chip ටොන් එකක් ඩොලර් 6321 බැගින් අලෙවි කර තිබෙනවා.

කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන විදේශ වෙළෙඳපොලට අපනයනය කිරීම මෙන්ම මෙරට අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ද යෙදවීමට නියමිතයි.

මෙම කර්මාන්ත ශාලාව තුළ දිනකට Potato Chips  කිලෝග්‍රෑම් 1000ක් සැකසීමේ හැකියාව තිබෙනවා.

එමෙන්ම අර්තාපල් ගොවීන් 200ක ගේ නිෂ්පාදන මෙම මෙම කර්මාන්තශාලාවට මිල දී ගැනීමට කටයුතු කර ඇත.

දැනට අර්තාපල් බහුලව වගා කරන වැලිමඩ බොරලන්ද හෙක්ටෙයාර් 3000කින්  පමණ  සමන්විත අර්තාපල් වගා කළාපයේ ප්‍රමාණවත් තරම් මාර්ග පහසුකම් නොමැති නිසා මෙම වසරේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂි මාර්ග සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල් වැය කර එම පිවිසුම් මාර්ග ප්‍රතිසංස්කරණයට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නා.

කහත්තේවෙල Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ආරම්භ වූ පසු ඒ ආශ්‍රිතව ඝෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනු ඇතැයි ද ජනතා ගොවි සමාගම පවසයි.

මෙම කර්මාන්ත ශාලාව හැකි ඉක්මනින් විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඊයේ (31) කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනට උපදෙස් දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්