fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එළුවන්ටත් රක්ෂණයක්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 09:54

එළුවන්ටත් රක්ෂණයක්

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළා.

දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ ගණනාවක් සඳහා නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එහි සභාපතිවරයා ඊයේ (30) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල නිලධාරින් සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධව අමාත්‍යවරයා කරුණු විමසුවා.

එම මණ්ඩලය විසින් මේ වනවිට බෝගවර්ග හයක් සඳහා ගොවි ජනතාවට නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, හා ලොකුලූණු සඳහා වගා හානියක දී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක වන්දියක් නොමිලයේ ලබා දෙනු  ලබයි.

නමුත් මෙම නොමිලයේ ලබා දෙන වන්දි මුදලට අමතරව අක්කරයකට දෙන මුදල තවත් රුපියල් 60,000කින් ඉහළ නැංවීමට සහ  හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා වන්දි වශයෙන් ලබා ගත හැකි පරිදි නව රක්ෂණ ක්‍රමයක්  හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා තිබෙනවා.

සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමත් දීමටත් කටයුතු යොදා තිබේ. මෙම එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී තිබෙනවා.

මේ අයුරින් තව කෘෂි අංශ ගණනාවක් සඳහා රක්ෂණාවරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා පැවසුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්