එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ Halo Trust හි නියෝජිතයින් අතර හමුවක් පසුගියදා පැවැත් වුණා.
පසුගිය අඟහරුවාදා (23) එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා “The Halo Trust” හි විධායක අධ්යක්ෂ, Chris Whatley සහ නියෝජ්‍ය වැඩසටහන් අධ්යක්ෂ (නැගෙනහිර), Tom Meredith හමුවී පැවැති අර්බුද සමයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය.
තානාපතිවරයා සමග පැවැති සාකච්ජාවේදී Halo Trust නියෝජිතයින් මෙසේ සඳහන් කළේය,
“බිම්බෝම්බ ඉවත් කිරීමට සහ අවතැන් වූ ප්‍රජාවන්ට නැවත පැමිණීමට පහසුකම් සැලසීමට ක්‍රමානුකූලව කටයුතු කරමින් දශක ගණනාවක් පැවැති ගැටුම්වලින් ජය ලබාගනිමින් ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය ලොව පුරා බිම්බෝම්බවලින් බලපෑමට ලක් වූ රටවලට ආදර්ශයකි. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාවට සාක්ෂියකි. වොෂින්ටන්හි ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ ඇමරිකානු මහජනතාවට මෙම පණිවුඩය පැවසීමට තානාපති කාර්යාලය සමඟ හවුල් වීමට හැකි වීම ගැන අපි සතුටුවෙමු. ”
Halo Trust සංවිධානය ශ්‍රී ලංකා හමුදා බිම්බෝම්බ ඉවත් කරන්නන් සමඟ එක්ව කටයුතු කරමින් ශීඝ්‍ර ප්‍රගතියක් ලඟාකර ගැනීම සඳහා ඔවුන් දක්වන ලද සහයෝගය තානාපතිවරයා විසින් අගේකරන ලදී. 40%ක් කාන්තාවන් වන 1000කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ අනාගතය පිළිබඳව විමසා බැලූ ඔහු, බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අවසන් වූ පසු ඵලදායි රැකියා ලබා ගැනීමට හැකිවන පරිදි වැඩිදුර පුහුණුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
Halo Trust නිලධාරීන් ප්‍රකාශ කළේ ශ්‍රම බලකාය පුහුණු කිරීම අඛණ්ඩ ක්‍රියාවලියක් බවයි. ගෝලීය වශයෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල කැපී පෙනෙන ජයග්‍රහණයක් පිළිබඳ මෑතකාලීන උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව ඔවුහු ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ප්‍රගතිය පිළිබඳව එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.