පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු ණය ප්‍රමාණයෙන් මිලියන 18,000ක්ම ගෙවා අවසන්
Related Articles
2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාල පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
මේ අන්දමින් ගෙවීමට තිබු සම්පූර්ණ ණය මුදල රුපියල් මිලියන 20,000 ද ඉක්මවා තිබුණා.
නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් බලයට පත් වු පසු එම ණය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ලබා දීමට පියවර ගත්තා.
ඒ අනුව වසරක් තුළ එම ණය මුදලෙන් රුපියල් මිලියන 18,000ක් මේ වනවිට ගෙවා ඇති අතර තවදුරටත් ගෙවීමට ඇත්තේ අදාල ණය මුදලින් රුපියල් මිලියන 2000ක් පමණක් යැයි ද අමාත්‍යවරයා පැවසුවා.
ඊයේ (25) පස්වරුවේ කාෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පොහොර සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා.
2021 වර්ෂයේ සිට පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබු ණය මුදල් ප්‍රමාණය පිළිබඳව අමාත්‍යවරයා නිලධාරින්ගෙන් කරුණු විමසනු ලැබුවා.
2022 යල කන්නයේ දී පුද්ගලික අංශය විසින් යුරියා පොහොර මිටියක් රුපියල් 40,000කට ආසන්න මුදලකට අලෙවි කළේ ඔවුන්ට රජයෙන් අය විය යුතු ණය මුදල් නොගෙවීම නිසාය.
එම පොහොර සැපයුම්කරුවන් තමන්ට රජයෙන් අය විය යුතු මුදල රටේ ගොවීන්ගෙන් අය කිරීමට වැඩි මුදලට යුරියා පොහොර අලෙවි කිරීමට කටයුතු කර තිබුණා.
නමුත් මේ වනවිට ඔවුන්ට ගෙවීමට තිබු ණය මුදල්වලින් සියයට 90කටත් වඩා වත්මන් රජය විසින් ගෙවන ලද බැවින් මේ වනවිට යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
ලබන මස මුල් සතියේ මෙරටට ලැබෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 31,200ක තොගයත් සමග ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය සහ ලෝක වෙළෙඳ පොලේ යුරියා පොහොර මිල අඩු වීමේ වාසිය ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.