fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරණය සැක සහිතයි – එයාව ගෙන්න ගන්න එක ඒජන්සිය ප්‍රමාද කරා – සිංගප්පූරුවේදී මිය ගිය නදීකාගේ ඥාතීන්

hasiniek
By hasiniek මැයි 21, 2023 05:34

මරණය සැක සහිතයි – එයාව ගෙන්න ගන්න එක ඒජන්සිය ප්‍රමාද කරා – සිංගප්පූරුවේදී මිය ගිය නදීකාගේ ඥාතීන්

සිංගප්පූරුවේ නිවසක ගෘහසේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී මහල් අටක ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ සිරුර ඊයේ දිවයිනට රැගෙන ආවා.

ඇයගේ මරණය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කෙරුණා.

දංකොටුව මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි නදීකා දිල්ෂානි ප්‍රනාන්දු සිංගප්පූරුව බලා පිටත්ව යන්නේ ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහායි.

ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී.

ඇය මීට පෙර ගෘහ සේවිකාවක් ලෙස සයිප්‍රසය හා තුර්කිය යන රටවල වසර 10 ක් පමණ සේවය කර තිබෙනවා.

ඒ අනුව නදීකා සිංගප්පූරුව බලා පිටත්ව යන්නේ කුරුණෑගල විදේශ රැකියා ආයතනයක් හරහායි.

ඇය සිංගප්පූරුවේ සේවය කළ නිවසේ වැඩ අධික බව ඒජන්සියට දන්වා ඇති අතර එහිදී ඇය තවත් නිවසක් වෙත මාරු කර තිබෙනවා.

ඒ ඇය මියගිය මහල් සංකීර්ණයේ අටවන මහලේ නිවසක් වෙතටයි.

එහිදී ද ඇයට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වන බව ඇයගේ පවුලේ ඥාතීන්ට මෙන්ම සමීප මිතුරියන් වෙතද දන්වා තිබෙනවා.

ඒ බව ඒජන්සියටද දන්වා ඇති අතර ඒජන්සිය මගින් මහ කොමසාරිස් කාර්යාලය වෙත එය දැනුම් දී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.

ඇයට අත්විදීමට සිදු වූ එම දුෂ්කරතා සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විදේශ රැකියා ඒජන්සියට දන්වා ඇති අතර ඇය ගෙන්වා ගැනීමට ඔවුන් ඉල්ලා තිබෙනවා.

එහෙත් රැකියා ඒජන්සිය එය ප්‍රමාද කර ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

ඒ අතරතුරයි ඇය පසුගියදා මහල් අටකින් යුත් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඇය ඇද වැටෙන ආකාරය අසළ සිටි පිරිසක් වීඩියෝ ගතකර තිබෙන අයුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

නදීකාගේ සිංගප්පූරු සිහිනය ඉන් නිමවන අතර ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සිංගප්පූරු මිතුරු මිතුරියන්ට අවස්ථාව සලසා දී තිබුණා.

ඒ අනුවයි ඇයගේ සිරුර අද අලුයම් කාලයේ ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේ.

එහිදී ඇයගේ පවුලේ ඥාතීන් දේහය භාර ගත්තා.

එහිදී ඇයගේ පවුලේ ඥාතීන් සදහන් කළේ නදීකා දිල්ෂානිගේ මරණය සැක සහිත බවයි.

පසුව ඇයගේ සිරුර මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පරීක්ෂණ සදහා රැගෙන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාල මට්ටමින් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා පවසනවා.

 

 

hasiniek
By hasiniek මැයි 21, 2023 05:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්