බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක්
Related Articles
බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.
නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා
1997 පමණ ඉන්දික ගුණවර්ධන අමාත්‍යවරයා බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ පළමු සැලැස්ම ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව සිංගප්පුරුවේ සුබානා ජුරොං (Surbana Jurong) සමාගම 2004 වසරේ ඉදිරිපත් කළ සැලැස්ම ද ක්‍රියාත්මක නොවු බව කියා තිබෙනවා.
ඉන් අනතුරුව 2015 වසරින් පසුව එම සමාගම විසින් අදාළ සැලැස්ම නැවත සංශෝධනය කර ලබා දුන් අතර එම සැලැස්ම පිළිබඳ සියලුදෙනා සමග සාකච්ඡා කර, අවශ්‍යනම් තවදුරටත් සංශෝධන සහිතව බස්නාහිර පළාතට අවශ්‍ය මූලික සංවර්ධන සැලැස්ම පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්.
එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරුණා.
එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම සහ ඉඩම් පවරා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන් බව සඳහන්.