fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2023 10:40

ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක්

මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හයක කාලය තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගිය සෙනසුරාදා ඇහැලියගොඩ ප්‍රදේශයේ බිම්මල් වගා ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැතී රැස්වීමකට සහභාගි වෙමිනි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතිය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ සාර්ථකව බිම්මල් ව්‍යාපෘතිය සිදු කරන අතර මේ වනවිට වගාකරුවන් 466 දෙනෙක් බිම්මල් වගාවේ යෙදී සිටිති. එක් වගාකරුවෙක් මාසයකට රුපියල් ලක්ෂයත්, එක්ලක්ෂ පනස්දහසත් අතර ආදායමක් උපයනු ලබයි. SAPP ව්‍යාපෘතිය විසින් මෙම වගාකරුවන්ට අවශ්‍යණය පහසුකම්, තාක්ෂණය, නව බීජ හඳුන්වා දීම හා තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවශ්‍ය වෙළෙද පොල සොයා දීම ද සිදුකරයි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ගත වූ කාල පරිච්ඡේදය අපේ රටේ ජනතාව මෙතෙක් ගත කළ දුෂ්කරම කාල පරිච්ඡේදයක් බවයි.

අපි ගත කළේ විශාල දුෂ්කර කාල පරිච්ඡේදයක්. නමුත් දැන් අපේ රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය හා විදේශ සංචිත ඉහළ යමින් තිබෙනවා.

මේ වාසිය රටේ ජනතාවට ලබා දීමට රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. මෙම වසරේ ඉදිරි මාස හයක කාලය තුළ අපේ ජනතාවට ආර්ථික වාසි රැසක් ලබා දෙනවා. විශේෂයෙන් විදුලි බිල ඉදිරි මාසය හෝ මාස දෙක තුළ අඩු කරනවා. ඒ වගේම ඉන්ධන මිලත් අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරනවා. ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙනවා. අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹනවා. එක් පවුළකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වගේම බදු සහන ඉල්ලා මේ දවස්වල සමහර අය කෑගහනවා. ඒ අයටත් කියන්නේ ඔවුන් ඉල්ලා සිටි බදු සහනත් අපි රජයක් වශයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා බදු සහන ලබා දෙන ඉල්ලා කෑ ගහන්නට දැන් අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේම රාජ්‍ය සේවකයින් සඳහා වැටුපට අමතරව විශේෂ දීමනාවකුත් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම සියලුම දේවල් මහජනතාවට ලබා දීමට නම් රජය මෙන්ම රට යහපත් ආකාරයෙන් පවත්වාගෙන යා යුතුයි. සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් සිදු වී තිබෙනවා. සංචාරකයින් දැන් විශාල වශයෙන් රට තුළට එනවා. සංචාරකයින් අපේ රටට එන්නේ ඔවුන්ට හිරිහැරයකින් හෝ අපහසුවකින් තොරව රටක් තුළ සංචාරය කළ හැකිනම් පමණයි. ඒ නිසා මෙම තත්ත්වය කඩාකප්පල් කිරීමට සමහර කණ්ඩායම් පියවර නොගන්නවා නම් ඉදිරි කාලය තුළ සංචාරක කර්මාන්තයේ වර්ධනයට එම තත්ත්වය ඉතාම පහසුවෙනවා.

ඒ වගේම මෙවර යල් කන්නයේ දී අපිට විශාල වී අස්වැන්නක් ලැබෙනවා. කන්න තුනකට පසුව සියලුම පොහොර එක්වර ලබා දුන්න පළමු කන්නය මෙම යල කන්නයයි. ඒ නිසා වසර කිහිපයකට පසුව මෙම වසරේ යල කන්නයෙන් පසුව සහල් අතිරික්තයක් රට තුළ ඇතිවන මට විශ්වාසයි. නැවත මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. සහල් අතිරික්තයක් ඇති වුනාම ඉන් කොටසක් සත්ව ආහාර සඳහා යොදා ගැනීම මගින් කුකුළු මස්, බිත්තර හා කිරි නිෂ්පාදනයත් ඉහළ නැංවිය හැකියි.

අපිට රජයක් වශයෙන් මෙම කටයුතු ඉටුකිරීමට නම් අපි සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

මෙම අවස්ථාවට SAPP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදී පාසල් දැරියක් වන ජේ. ඇම්. නිපුනිකා සෙව්වන්දි විසින් බිම්මල් ආශ්‍රිතව සකස් කර ගත හැකි ආහාර වට්ටෝරු ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් අමාත්‍යවරයා වෙත බාර දුන්නාය. එමෙන්ම බිම්මල් වගාව සඳහා අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ද අමාත්‍යවරයා විසින් ප්‍රතිලාභීන්ට බාර දෙනු ලැබීය.

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2023 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්