වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධවල මන්දිරයේදී 2023 වෙසක් උත්සවය සමරයි

ITN News Editor
By ITN News Editor මැයි 10, 2023 12:13

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධවල මන්දිරයේදී 2023 වෙසක් උත්සවය සමරයි

2023 මැයි 05 වැනි සිකුරාදා වොෂින්ටන් ඩී.සී. හි ධවල මන්දිරයේ දී බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සනිටුහන් කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ යෝජනාවක් අනුව, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වැඩි බෞද්ධ ජනගහනයක් සිටින රටවල් කිහිපයක තානාපතිවරුන් ඇතුලු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එක්රැස් කරගෙන ධවල මන්දිරය තුල ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආගම් අනුස්මරණය කිරීම සඳහා පවත්වනු ලබන උත්සව හා සමානව වෙසක් උත්සවය සැමරීම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. වෙසක් උත්සවයක් පවත්වන ලෙස ඉල්ලා කාම්බෝජය, නේපාලය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මියන්මාරය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් විසින් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා වෙත ලිඛිත පණිවිඩයක් යොමු කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ කාම්බෝජය, නේපාලය, තායිලන්තය යන රටවල තානාපතිවරුන් සහ ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මොංගෝලියාව යන රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් විසින් ඔවුන් වෙනුවෙන් කතා කිරීමට නම් කළ තානාපති සමරසිංහ මහතා, බෞද්ධ දින දර්ශනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන මෙම උත්සවයේ වැදගත්කම අවධාරණය කළේය. තවද, ධවල මන්දිරයේ පැවති මෙම උත්සවයට සම්බන්ධ වූ සහ සහයෝගය දුන් සියලු දෙනාටද, ජනාධිපති Joseph R. Biden, ජනාධිපති ආර්යාව වන Jill Biden, උප ජනාධිපති Kamala Harris සහ උප ජනාධිපතිවරියගේ ස්වාමිපුරුෂයා වන Doug Emhoff යන මහත්ම මහත්මීන්ටද මෙහිදී තානාපතිවරයා ස්තූති පල කළේය. ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් ආගම්වල උත්සව සනිටුහන් කරන සැමරුම්වලට සමගාමීව, 2024 දී සහ ඉදිරි වසරවලදී වෙසක් සැමරුම ජනාධිපති අනුග්‍රහය ඇතිව පැවැත්වීමට බලාපොරොත්තු වන බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. ඉදිරියේදී විධිමත් ක්‍රියාදාමයකට මග පාදන සම්ප්‍රදායක් මෙමගින් තහවුරු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
ලෝකයේ මිලියන 500කට අධික බෞද්ධ බැතිමතුන් සිටින අතර බුදු දහම අදහන මිලියන 4.5ක් එක්සත් ජනපදයේ සිටින බව තානාපති සමරසිංහ මහතා සඳහන් කළේය. වැඩි බෞද්ධ ජනගහනයක් සිටින රටවල් කිහිපයක් සමඟ ඒකාබද්ධව ආරම්භ කළ මෙම මුලපිරීම සියලුම බෞද්ධ අනුගාමිකයින්ට ඉතා වැදගත් බව ඔහු පැවසීය. වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් සහ මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ ඇතුලු ආගමික නායකයින් රැසක් අනුශාසනා කළ අතර මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දමිත බෝධි හිමිපාණන් වහන්සේ සහ බටහිර වර්ජිනියා භාවනා අසපුවේ පූජ්‍ය ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමීන් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකර සිටින ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය සහකාර සහ පැසිෆික් දූපත්වාසී ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා නිළධාරී Erika Moritsugu ද පැමිණ සිටියේය. ධවල මන්දිරයේ පැවැති මෙම උත්සවය ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර බෞද්ධ සංගමය සමඟ එක්ව තානාපතිවරුන් විසින් සංවිධානය කරන ලදී.

ITN News Editor
By ITN News Editor මැයි 10, 2023 12:13