fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිරුණිකා පැහැරගත් බව කියන පුද්ගලයා සාක්ෂි දෙයි – මේයා ද මෑන් කියලා හිරුණිකා ඇහුවා

hasiniek
By hasiniek මැයි 9, 2023 16:22

හිරුණිකා පැහැරගත් බව කියන පුද්ගලයා සාක්ෂි දෙයි – මේයා ද මෑන් කියලා හිරුණිකා ඇහුවා

තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය හමුවෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් අමිල ප්‍රියංක අමරසිංහ නැමැති තරුණයා කියා සිටියේ 2015 වසරේ තමා මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.

එවකට දෙමටගොඩ ප්‍රදේශයේ තමන් සේවය කළ රෙදි වෙළඳසැලට වරින්වර පැමිණි කාන්තාවක සමග තමන් සම්බන්ධයක් ඇති කරගත් බව ඔහු පැවසුවා.

දෙදරු මවක වන ඇය සැමියාගෙන් සිදුවන හිරිහැර නිසා ඔහුගෙන් ඉවත්ව තමා සමග ජීවත්වීමට පැමිණි බවයි සාක්ෂිකරු පැවසුවේ.

ඒ අනුව 2015 දෙසැම්බර් 20 වනදා කොටිකාවත්ත ප්‍රදේශයේ කාමරයක් ගෙන ඇය සමග ජීවත්වීමට පැමිණි බව සාක්ෂිකරු සදහන් කළා.

පසුදා තමන් සේවය කළ වෙළදසැලට පැමිණි පුද්ගලයින් 3 දෙනෙකු එහි ආරක්ෂක කුටිය ආසන්නයේ දී තමාව තල්ලුකරගෙන ගොස් නවතා තිබු කලු පැහැති ඩිෆෙන්ඩරයක් තුලට දැමු බව සාක්ෂිකරු සිහිපත් කළා.

එසේ පැමිණි පුද්ගලයින් සමග අදාළ කාන්තාවගේ සැමියා සහ කුඩා දියණිය ද සිට තිබෙනවා.

ඩිෆෙන්ඩරය දෙමටගොඩ දෙසට ගමන් කළ අතර එහි සිටි පිරිස් තමාට පහරදුන් බවයි ඔහු පැවසුවේ.

ඉන් පසු තමන් කොලොන්නාවේ පිහිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයට රැගෙන ගිය අතර විශාල සෙනගක් සිටි බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වාඩි සිටි ස්ථානයෙන් නැගිට මේසයක් මත වාඩි වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය “මේයා ද මෑන් “යනුවෙන් විමසා අදාළ කාන්තාවගේ නම පවසා ඇයගේ මහත්තයා දේශපාලන වශයෙන් මට ගොඩක් උදව්කරලා තිබෙනවා.

ඒකයි එක්ක එන්න කිව්වේ ඇය එක්කන් එන්න පුළුවන් දැයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය විමසූ බවත් ඊට තමන් එකඟ වූ බවත් සාක්ෂිකරු පැවසුවා.

එක්කන් එන්න ඕන. හැංගෙන්න ලැස්තිවෙන්න එපා. මට බලය තියෙනවා. යාපනයේ හැංගිලා හිටියත් මං උස්සනවා යනුවෙන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ට පැවසු බවයි සාක්ෂිකරු කියා සිටියේ.

ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පිරිස ජාතික හැදුනුම්පත ඔවුන් භාරයට ගත් අතර තමන් අදාළ කාන්තාව කැඳවාගෙන එම කාර්යාලයට යළි පැමිණි බව සාක්ෂිකරු පැවසුවා.

ඇය සහ ඇයගේ සැමියා කාර්යාලය තුළ වාඩිකරවා ගෙන සැමියාගෙන් ඉවත්ව ගියේ ඇයි දැයි විමසු බවයි සාක්ෂිකරු පැවසුවේ.

මෙයත් එක්ක ජිවත්වෙන්න බැහැ. අනවශ්‍ය විඩීයෝ පෙන්වනවා.

ඒ වගේ ඉන්න කියනවා යනුවෙන් ඇය ප්‍රකාශ කළ බව ද සාක්ෂිකරු පැවසුවා.

එහිදී සිනා සුනු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒවා සාමාන්‍ය දෙවල්.

ඒවා හැමෝම බලනවා. අපේ ෆෝන් වලත් ඕවා තියෙනවා. යනුවෙන් පවසා සිනාසුනු බවයි සාක්ෂිදෙමින් ඔහු පැවසුවේ.

තමා පැහැරගෙන යාම සම්බන්ධයෙන් වෙළඳසැලේ හිමිකරු කර තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයේ සිටි පුද්ගලයින් තර්ජනය කළ බව ද සාක්ෂිකරු කියා සිටියා.

අනතුරුව තමන් සිය සේවා ස්ථානයට ගොස් එහි හිමිකරු සමග පොලිසියට පැමිණිල්ලක් සිදුකර කට උත්තරයක් ලබාදුන් බව ද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.

වැඩිදුර විභාගය ජුනි පළමුවනදා තෙක් කල් තැබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2007 වසරේ දී වරද පිළිගත් ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන්ට කොළඹ මහාධිකරණය මගින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

hasiniek
By hasiniek මැයි 9, 2023 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්