fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයෙකු උණ්ඩ සහිත ගිනි අවිය සමග කොටු වීමෙන් වුණු ප්‍රශ්නය

hasiniek
By hasiniek මැයි 7, 2023 06:41

ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයෙකු  උණ්ඩ  සහිත ගිනි අවිය සමග කොටු වීමෙන් වුණු ප්‍රශ්නය

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා 05/06 දින දහවල් පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය( පිස්තෝලය) සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal)වෙත පැමිණ සිටියදී , කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක් වී තිබූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා .

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයෙකු ගුවන් යානයේ , මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා තිබෙනවා.

එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට , සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යාම සපුරා තහනම් වන අතර , එම ආරක්ෂක නිලධාරීවරයාට ගුවන් යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම් , එම ගිනි අවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුයි.

මෙසේ මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා , ඉන්දියාවේ විශේෂ කාර්යය බළකායේ නිලධාරීවරයෙකු වන අතර , ඔහු සිය ගිනි අවිය ද රැගෙන , මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ තිබෙනවා.

සේ පැමිණි ඔවුන් ආපසු යමින් සිටියදී , මෙම ඉන්දීය ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා සන්තකයෙහි පැවති ගිනි අවිය , කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙකුට දැක ගැනීමට ලැබී ඇති අතර , ඔහු වහාම ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර , මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයා , කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන් තොටුපළ තුළ දී අත්අඩංගුවට පත් වුවහොත් , ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර , මෙයට සමගාමී සිදුවීම් කීපයක්ම ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාස වල කටුනායක ගුවන් තොටුපළ තුළ දී ඇති වී තිබූ අතර , ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. .

ඒ අනුව 05/06 දින දහවල් 01.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට තිබු මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානය පසුව පස්වරු 05.35 ට කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියා

මේ පිළිබඳව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු අනුව , මේ වනවිට මෙම සිද්ධියට භාජනය වූ ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයාගේ සියලු උසස් වීම් අත්හිටුවා , මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.

hasiniek
By hasiniek මැයි 7, 2023 06:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්