fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදියේ ගෘහ සේවය සඳහා ගොස් අතවරයට පත්වූ ස්වර්ණා මල්කාන්ති

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 15:07

සෞදියේ ගෘහ සේවය සඳහා ගොස් අතවරයට පත්වූ ස්වර්ණා මල්කාන්ති

තම දරිද්‍රතාවය හමුවේ වෙනත් විකල්පයක් නොමැති තැන සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් සිටි ආදිවාසී තරුණියක් අද දින උදෑසන ආපසු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඇය මහියංගනය , දඹාන , මුරුකුඹුර ගම්මානයේ පදිංචි 24 හැවිරිදි ස්වර්ණා මල්කාන්ති.
ඇයගේ පියා ඔත්පලව තම කුඩා නිවසෙහි සිටින අතර ස්වර්ණා ගේ සැමියා හැර ගොස් සිටින අතර ඔවුන්ට වයස අවුරුදු 05 ක කුඩා දියණියක සිටින්නීය . ඇය තම ගම්පියසෙහි ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නීය.
ස්වර්ණා මල්කාන්ති සිය මව සමග තම ජීවන අරගලය ගෙන යාමට කොතෙක් උත්සාහ කළ ද අවසානයේ ගමේ විදේශ රැකියා තැරැව්කරුවෙකු වන කුළසේනගේ පිහිට සොයා යන්නට වූ අතර , කුළසේන තමන් අවුරුදු 20 ක් තිස්සේ දැන හදුනන කොළඹ මරදානේ ජේසීම් විදේශ රැකියා ආයතනය වෙත කැදවා ගෙන පැමිණ තිබේ.
එහිදී ඇය සෞදි අරාබියේ ගෘහ සේවය සදහා යැවීමට කටයුතු සූදානම් කර තිබෙන අතර , රැකියාවට යෑමට පෙර ඇයට රුපියල් ලක්ෂ 03 ක මුදලක් ලබා දෙන බව පවසා තිබේ.
එහෙත් අවසානයේ ඇය වෙත එම රැකියා නියෝජිතවරයා ලබා දී ඇත්තේ රුපියල් 64,000 ක මුදලක් පමණි.
ස්වර්ණා මල්කාන්ති , ඇගේ අක්කා සමග මීට මාස දෙකකට පමණ පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සදහා පිටත්ව ගොස් තිබේ.
මුලින්ම එරට දමාම් නුවර ගුරුවරියකගේ නිවසෙහි මාසයක් පමණ සේවයෙහි නිරත උනා . මහල් 03 කින් සමන්විත එම නිවසෙහි සිටින දරුවන් ඉතාමත් දගකාර ක්‍රියා වල නිරත වන බැවින් ඔවුන් බලා ගැනීම සහ නිවසෙහි අනෙකුත් වැඩ කිරීම අපහසු නිසා , එම නිවසෙහි මාසයක් පමණ සේවය කිරීමෙන් පසුව  ඉවත් වීමට  අවශ්‍ය බව දැන්වූවා . ඔවුන් මගේ මාසික වැටුප ගෙවා මාව යළිත් සෞදි අරාබියේ රැකියා නියෝජිතවරයා වෙත භාර දුන්නා.
ඉන්පසුව මාව යළිත් වෙනත් නිවසක වැඩට ගිහිං දැම්මා. ඒ ගෙදරත් තට්ටු තුනක් තියෙනවා . ළමයි 06 දෙනෙකු සිටිනවා.
ඒ ගෙදර බාබා මොනවා හරි පොඩි රැකියාවක් කරන්නේ.
මම උදේ පාන්දර නැගිටලා රෑ වෙනකම් වැඩ කරනවා. ඒ ගෙදර මැඩම් හරිම සැරයි. එයා නිතරම 
” කුකුළි , කුකුළි , සුරා , සුරා .” කියනවා . ඒ කියන්නේ ඉක්මණට ඉක්මණට වැඩ කරන්න කියලා.
ඒ මැඩම් මට නිතරම ගැහුවා. එයා නිතරම පයින් ගහන්නෙ. මාව කොණ්ඩෙන් ඇදලා බිම දාල පාගනවා. මට මේ පසුගිය ඒ අයගේ රාමසාන් උත්සව සමයේ තවත් ගෙවල් දෙකක වැඩට අරං ගියා.
ඒ අතරෙ මැඩම්ගෙ අම්මගෙ ගෙදරත් වැඩ කරන්න උනා. එහිදී එයාගෙ මල්ලී මට විවිධ යෝජනා කළා.
බලපෑම් කළා. එහිදී මට අවස්ථා පහකදී පමණ සිහිය නැති උනා. ඒ අවස්ථා වලදී , ඔහු මගෙන් ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගෙන තියෙනවා. 
මීට අමතරව චොකලට් වගයක් දීලත් මාව සිහි නැති කළා. ඒ අය කියන්නෙ මාව ” මෝහනයට ” පත් කරනවා කියලයි. මට බැරිම තැන මම ඒ ගෙදර අයට කිව්වා මාව ලංකාවට යවන්න කියල. මම ගෙදරටත් මං විදින දුක් ගැන කිව්වා . 
පස්සෙ මට පඩි නොදී සෞදි අරාබියේ රැකියා ඒජන්සියට ගෙනත් භාර දුන්නා. එහිදී මට ඒජන්සිය  භාර බාබා මට ගැහුවා. ඔලුවටත් ගැහුවා.
ඒ සෞදි අරාබි ඒජන්සිය මාව ලංකාවට යවන්න රුපියල් ලක්ෂ 20 ක් ඉල්ලුවා. ලංකාවේ ජේසීම් ඒජන්සිය මාව ලංකාවට ගෙන්වා ගන්න රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලුවා.  
මගේ අක්කටත් වෙලා තියෙන්නෙ මට උණ දේවල්මයි . නමුත් ඒවා ගෙදරට , ලංකාවට , ලෝකයට කියන්න එයාට ෆෝන් එකක් නැහැ . මේ වෙනකොට එයා මරළ ද දන්නෙ නැහැ.
අක්කටත් මගේ වයසෙ දුවෙක් ඉන්නවා . එයා යන්නෙන් ගුරුකුඹුරෙ ඉස්කෝලෙට. 
සෞදි අරාබියේ මේ වෙනකොට අහිංසක මිනිස්සු ළමයි දාල ඇවිත් ගොඩක් දුක් විදිනවා.
යැයි අවසාන වශයෙන් පැවසුවාය.
ස්වර්ණා මල්කාන්ති අද දින උදෑසන 09.05 ට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 147 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඇය මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව, මහියංගනය රෝහලෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා බස් රථයකින් පිටත්ව ගියාය.
ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්