ස්ථාන මාරුවීම් නීතියට පටහැනි – අජිත් රෝහණ තීරණයට එරෙහි වෙයි
Related Articles
ලබා දී ඇති ස්ථාන මාරු වීම නීතියට පටහැනි බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
අජිත් රෝහණ මහතා ඇතුළු 07 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කර ඇති බවට පවසමින් ලිපියක් නිකුත් කෙරුනේ ඊයේ(25) දිනයේදීයි.
“පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාවය මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් අනුමත කර ඇති පහත සඳහන් ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක කිරීමට මෙයින් නියෝග කරමි” ලෙසටයි ඊයේ දිනයට අදාළව පොලිස්පතිවරයාගේ අස්සනින් යුතුව නිකුත් වූ ලිපියේ දැක්වුණේ.
ඒ අනුව අදාළ ස්ථාන මාරුවීම් නීතියට පටහැනි බැවින් එය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවයි අජිත් රෝහණ මහතා ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ.
ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ අදාළ ස්ථාන මාරුවීම් සිදු කිරීමට නීතියෙන් බලය ඇත්තේ පොලිස් කොම්ෂන් සභාවට වන අතර අමාත්‍යංශ ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බවයි.
අදාළ ලිපියෙහි පිටපත් පොලිස්පතිවරයාට සහ පොලිස් මූලස්ථානය වෙත ද යොමු කිරීමට අජිත් රෝහණ මහතා පියවර ගෙන තිබෙනවා.