ශ්‍රී ලංකාව සහ ඉතාලිය වෙළඳ ලොවේ අත්වැල් බැඳගන්න සාකච්ඡා කරයි
Related Articles
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා සමඟ සාකච්ඡා කර තිබෙනවා .
ඉතාලි තානාපති රීටා ජූලියානා මැන්නෙල්ලා මහත්මිය සහ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චිබි මහතා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර නව ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලන ලෙස ඔවුන් සමඟ පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉතාලි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.
ඉතාලි භාෂා මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ සාකච්ඡාකරමින් සිටින බවයි තානාපති මැන්නැල්ලා මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ.
හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා තරුණයින් පුහුණු කිරීම සඳහා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද ඉතාලිය අපේක්‍ෂා කරනවා
පුහුණු කාර්ය මණ්ඩල සඳහා ඉතාලියේ හෝටල්වල ඉල්ලුමක් පවතින බවත් පුහුණු ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා උදාකරගැනීමේ හැකියාව පවතින බවත් ඉතාලි තානාපතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එවැනි පුහුණුවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට ද ඉවහල් වන බවයි ඇය පෙන්වා දුන්නේ.
යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චිබි මහතා මෙරට සංචාරක ව්‍යාපාරය වේගවත් ලෙස ප්‍රකෘති තත්ත්වයට පත්වීම පිළිබඳව සතුටට පත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.
බොහෝ යුරෝපීය සංචාරකයින් ඉහළ සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමට උනන්දු වන බැවින් සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය සහ ඒවාට ඇති සංචාරක ආකර්ෂණය තානාපතිවරුන් දෙදෙනාම මෙහිදී අගය කර තිබෙනවා.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව තානාපති මැන්නැල්ලා මහත්මිය සිය සතුට පළ අතරම, ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඉතාලි රජයට ස්තූතිය පළ කළ සිටියා.