fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම ගැන තීන්දු තීරණ රැසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 10:59

බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම ගැන තීන්දු තීරණ රැසක්

බස්නාහිර පළ‌ාතේ අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු අවධාරණය කරනවා.

විශේෂයෙන් ම ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය ප්‍රබලව‍ ම පවතින බව වාර්තා වෙනවා.

මෙම සතුන් දිනකට කිරි ලීටර් 15- 30 අතර ප්‍රමාණයක් ලබා දෙන එලදෙනුන් වන අතර අඩුම තරමින් මාසයකට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරිදෙනුන් 35-40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වී ඇති බව ද කෘෂි අංශ බලධාරීන් පවසනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරින්ගේ සාකච්ඡාවක දී බස්නාහිර පළාතේ ගව සොරකම් ඉහළ යාම සම්බන්ධව පළාත් කෘෂි අංශ බලධාරිහු කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන් සුඛෝපබෝගී වෑන් රථවලින් පැමිණෙන පිරිස් රාත්‍රි කාලයේ දී ගවමඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන ගෙන යන බවද මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් වුණා.

මේ අන්දමින් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් පවතින බව සියලු කෘෂි බලධාරීන් අවධාරණය කළා.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රි කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම, වාහන පරීක්ෂා කිරීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පතිතුමාටත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නා.

කිරි ලබා ගන්නා ගව දෙනුන් මේ අන්දමින් දිනපතා සොරකම් කිරීම නිසා ඉදිරියේ දී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇතැයි ද කෘෂි අංශ බලධාරින් ප්‍රකාශ කළා.

ගවපාලනයේ නිරතව සිටින කිරිගොවීන් මේ වනවිට ගවයින්ගේ ආරක්ෂාව උදෙසා ඇතැම් ගවගාල්වලට විශාල මුදලක් වැය කර සීසී ටීවී කැමරා පවා සවි කර ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 19, 2023 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්