ජපානයත් ප්‍රංශයත් හා ඉන්දියාවත්, ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන සැළසුම හදයි
Related Articles
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සදහා වන විශේෂ සාකච්ඡාව අද අලුයම ආරම්භ වුනා.
ද්වී පාර්ශ්විය ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ස්ප්‍රින් සමුළුවෙහි තුන්වන දිනය ඊයේයි.
ජපාන රජයේ මූලිකත්වයෙන් අයිඑම්එෆ් ස්ප්‍රින් සමුළුව තුළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පොදු එකගතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡා වටය පැවැත්වුණා.
ඇමෙරිකාවේ වොෂින්ටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින් මීටින් රැස්වීමට සහභාගීවී සිටින අතරතුරයි මෙම විශේෂ මාධ්‍ය හමුව කැදවා තිබුණේ.
ඊට එක්වෙමින් සියලුම ද්වීපාර්ශ්වික ණය හිමියන් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙල කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කරන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටින්නේ අයිඑම්එෆ් හා ලෝක බැංකුවේ ස්ප්‍රින් සමුළුව ක්‍රියාත්මක වු දිනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්වූ බවයි ද්වී පාර්ශ්වික ණය හිමියන් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පොදු එකගතාවක් ඇතිකර ගැනීමේ වැඩපිළිවෙල සදහා වේදිකාවක් සකස් කර ගැනීම සම්බන්ධ නිවේදනයක් ද නිකුත් කළ බවයි.
එහි නායකත්වය ජපානය උසුලනු ලබන අතර ඊට ඉන්දියාවත් පැරිස් සමාජයත් එක්ව සිටිනවා.
ජපානය නියෝජනය කරමින් එහි මුදල් අමාත්‍යවරයා, ඉන්දියාව නියොජනය කරමින් මුදල් අමාත්‍යවරිය පැරිස් සමාජය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද සම්බන්ධ වී සිටිනවා.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ අනුව සියලු ණය හිමියන්ට විවෘත ආරාධනාවක් ද කළ අතර මෙම පොදු වේදිකාවට එක්වී කඩිනමින් ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය සහාය ලබාදී ශ්‍රී ලංකාවට ණය ලබාදීම කඩිනම් කිරීමට සහාය වන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.
ආර්ථිකය යථාවත් කිරීම සදහා රට තුළ සිදුකර ඇති සියලුම ප්‍රතිසංස්කරණයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් අගය කර තිබිම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවට ණය තිරසර භාවය ඇතිකර ගැනීමට සහ ආර්ථිකය නංවාලීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට චීනය අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවට චීන නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල අගය කළ ඇමෙරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රෝත් කියා සිටියේ භාණ්ඩාගාර මෙහෙයුම් වැඩිදියුනු කිරීමට සහාය ලබාදීමට සහතික වන බවයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා මහාචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග පිළිබදවත් එයට මුහුණ දීමට සිදුකරන ප්‍රතිසංස්කරණ මත තරගකාරී සහ තිරසර ආර්ථිකයක් තහවුරු කිරීමට රජය ගන්නා වැඩපිලිවෙල පිළිබදවද ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරීම සදහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙකු වශයෙන් ඉන්දියාව ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් පළමුව කැමැත්ත පළකළ බවත් ශ්‍රී ලංකාවට ණය දෙන රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සදහන් කළේ ශ්‍රී ලංකාවට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩඒම සදහා කඩිනම් විසදුමක් අවශ්‍ය වන බවයි.
සියලුම ද්වී පාර්ශ්වික ණය හිමියන් සාකච්ඡාවලට සහභාගී වී පළමු සමාලෝචනයට පෙර එම ක්‍රියාවලිය සම්පූර්ණ කරනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා සදහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රිනිවාසන් ප්‍රකාශ කර ඇත්තේ ණය අඩුකරන්නේ ද ණය ගෙවීමට දී ඇති කාලය දීර්ඝ කරන්නේ ද එසේ නොමැතිනම් පොලිය අඩු කරන්නේද යන්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වන බවයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ 2023, 2027 අතර ඇමෙරිකා ඩොලර් බිලියන 24ක මූල්‍ය පරතරයක් ඇති බවයි.
ඉන් ඩොලර් බිලියන 17 ක් පමණ ලැබීමට නියමිත ණය සහන මගින් ආවරණය වනු ඇති බවත් ඉතිරි ඇමෙරිකා ඩොලර් බිලියන 7 බාහිර මූල්‍ය කරණයෙන් ආවරණය කර ගැනීමට සිදුවනු ඇති බවටත් ඔහු පෙන්වා දී තිබෙනවා.
ජපාන මුදල් අමාත්‍ය සුනිචි සසුකි මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණය හිමි රටවල් මෙලෙස එකම වේදිකාවකට රැගෙන ඒමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බවයි.
ඊට ඕනෑම ණය හිමි රටකට එක්විය හැකි බවත් ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.