fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට හැකියාවක් නැහැ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2023 19:47

පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට හැකියාවක් නැහැ

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ලොව පිළිගත් ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

එසේ නොවුනේ නම් ශ්‍රී ලංකාවට කිසිදු දිනක මෙවැනි ආර්ථික පියවරක් අනුගමනය නොකරනු ඇති බවත් රටක ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් එම රට විසින්ම හදුනා ගැනීම සිදු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ රාජ්‍ය ව්‍යාපාර කිහිපයක් සාමූහික අභිලාශ ගිවිසුම්වලට එළඹීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින්.

උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන පනස් දෙක අතුරින් තිස් නවයක් ලාභ ලබන අතර දහතුනක් පාඩු ලබමින් පවතිනවා. එහි අලාභය රුපියල් මිලියන එක්දහස් විසිනවයක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ලාභ ලබන ආයතන තිස්නවයේ ලාභය රුපියල් බිලියන දෙසිය දහ අටක් පමණ වනවා. එහෙත් සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811 කට අධිකයි.

අදාළ බොහෝ ව්‍යාපාරවල වෙළෙදපොළ ඒකාධිකාරයේ වාසියද රජය සතුව තිබියදී මෙලෙස ආයතන පාඩු ලබන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ ආයතන රැකගැනීමට භාණ්ඩාගාරයට තවදුරටත් හැකියාවක් නොමැති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2023 19:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්