තුනෙන් පහට යන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සැළැස්මක්
Related Articles
ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා
මෙම වැඩ පිළිවෙළ යටතේ වසර තුනක් තුළ ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් තුළ ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක් තුළ ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ප්‍රකාශ කළේ.
දැනට අප රටේ හෙක්ටෙයාර් එකකින් ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5ක් පමණ වනවා.
ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉළක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.
මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට වී වගාවේ අඩුම අස්වැන්නක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බැවින් බස්නාහිර පළාතේ හා තෙත් කළාපයේ කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.
බතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති BG 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරුවලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කියා තිබෙනවා.
මෙම වසර තුළ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරෙනු ඇති.
ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිතයි.
ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉළක්ක කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා