මාධ්‍ය කලාවෙන් මහගෙදරට මෙහෙයක් කළ හර්ෂ ජීවිත මෙහෙවර නිම කරයි
Related Articles
මාධ්‍යවේදියෙකු ලෙස රූපවාහිනී මහ ගෙදරට අනූපමේය සේවයක් කළ සහකාර ප්‍රවෘත්ති කළමනාකරු හර්ෂ ධනංජය පීරිස් දිවි ගමන අද නිමකලා.
ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය ආරම්භයේදීම එහි ආරම්භක සාමාජිකයෙකු යූ හර්ෂ ධනංජය පීරිස් දක්ෂතා රැසකින් හෙබි මාධ්‍යවේදියෙක් වුණා. එකල ස්වාධීන රූපවාහිනීයෙන් විකාශය වූ විමසුම කාලීන වැඩසටහනේ සහායක නිෂ්පාදකවරයෙකු ලෙස එක්වුණු හර්ෂ පසුව පූර්ණ කාලීනව ප්‍රවෘත්ති අංශය හා එක්ව අයිටීඑන් ප්‍රවෘත්ති ඉහළ තලයට ගෙනඒම සදහා නිරන්තරයෙන්ම සිය දායකත්වය සැපයූවා. ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේදියෙකු ලෙස කාලීන පුවත් ගෙනඒමට හර්ෂ පීරිස් තුළ තිබූ දක්ෂතාව අතිමහත්ය. ජනාධිපතිවරුන් සහ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රවෘත්ති ආවරණ කටයුතුවලදී හර්ෂ මනා දක්ෂතාවක් දැක්වීය. ප්‍රවෘත්ති මාධ්‍යවේදියෙකු මෙන්ම කුසලතා පූර්ණ නිෂ්පාදකවරයෙකු ද වූ ඔහු වැඩසටහන් ගණනාවකටම සිය නිෂ්පාදන දායකත්වය සැපයීය. දෙමළ භාෂාව පිළිබදව ද දැනුමකින් සිටි හර්ෂ පීරිස් අප අතරින් වෙන්වනවිට වසන්තම් ටීවී ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු ලෙස සිය දායකත්වය රූපවාහිනී මාධ්‍ය ජාලයට සපයමින් සිටියා. කලා කුසලතාවන්ගෙන් ද හෙබි හර්ෂ පීරිස් සිය රංගන දායකත්වය ටෙලිනාට්‍ය කිහිපයකට ද ලබාදුන්නා. ස්වාධීන රූපවාහිනියේ අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වූ පබා ටෙලි නාට්‍යයේ ද ඔහුගේ රංග කුසලතාව දැකගත හැකිවුණා. අද පෙරවරුවේ අප අතරින් සදහටම වෙන්ව යනවිට හර්ෂ ධනංජය පීරිස් 58 වන වියෙහි පසුවුණා. පුතනුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු ද වනවා. හර්ෂ ධනංජය පීරිස්ගේ මෘත දේහය බත්තරමුල්ල කොස්වත්ත රිචඩ් ද සොයිසා මාධ්‍ය ගම්මානයේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.