fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන්නට සුබ පණිවිඩයක්

hasiniek
By hasiniek පෙබරවාරි 19, 2023 11:27

කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන්නට සුබ පණිවිඩයක්

ඉදිරි මාස 06 තුළ නැවත වරක් මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ස්ථිර වශයෙන්ම හිස ඔසවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මෙරට කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිතව එහි නිෂ්පාදන ඉහළ නැංවීම හා කිරි හා අනෙකුත් සත්ව නිෂ්පාදන පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කළා.

පසුගිය වසරේ පැවැති සත්ව ආහාර හිඟකම, මව්සතුන් ආනයනය නතර කිරීම, පොහොර හිඟය නිසා මෙරට බඩඉරිඟු දේශීය නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනය නතර කිරීම නිසා කුකුළු පාලන කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනය පහළ වැටුණු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

නමුත් පසුගිය වසර අවසන් වනවිට මව්සතුන් 36,000ක් ආනයනය කර ඇති බවද සඳහන්.

එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසය වනවිට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 178,000ක් ආනයනය කිරීම හා 2023 යල කන්නයේ හා මහ කන්නයේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ඉළක්කයක් ඇතිව වගා කටයුතු සංවිධානය කර තිබෙන නිසා සත්ව ආහාරවල හිඟයක් ද ඇතිවීමට ඉඩක් නොමැති බවද ඔවුන් දක්වා තිබෙනවා.

2022/ 23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කර තිබෙන අතරම රටට අවශ්‍ය තරම් සහල් තොග පවතින නිසා පැරණි සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා ගත හැකි බැවින් සත්ව ආහාරවල හිඟයක්ද ඇති නොවන බවයි ඔවුන් කියා සිටින්නේ.

පුද්ගලික අංශයේ ගොවිපොළ සතුව කුකුළු පැටවුන් ලක්ෂ 15ක් පමණ ප්‍රමාණයක් දැනට සිටින බවට වාර්තා වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම කරුණු පදනම් කර ගනිමින් ඉදිරි මාස හය තුළ මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය අනිවාර්යෙන්ම යළිත් ඉදිරියට එන බවත්, බිත්තර ආනයනය කිරීම අඛණ්ඩව සිදු කළ යුතු නැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ආසියානු කලාපය තුළ කුරුළු උණ වසංගතය වාර්තා නොවූ එකම රට ශ්‍රී ලංකාව නිසා අපේ රටේ කුකුළු මස් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර විශේෂයෙන් ඉන්දියාවේ ද භාවිතා කරනුයේ අපේ රටේ නිෂ්පාදිත සොසේජස් බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

එමනිසා ආසියානු කලාපය තුළ කුරුළු උණ වෛරසයෙන් නිදහස් එකම රට ශ්‍රී ලංකාව නිසා එම කීර්ති නාමය අපේ රටේ සත්ව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය සඳහා සියලු පියවර ගත යුතු බවටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

hasiniek
By hasiniek පෙබරවාරි 19, 2023 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්