fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයට අඩු මිලට මඩ පොහොර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 16:00

යල  කන්නයට අඩු මිලට මඩ පොහොර

ඉදිරි යල  කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම ගැටලු පිළිබඳ පසුගිය 13දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ගොයම් කහ වීමේ රෝගය වැළැක්වීම, පොහොර යෙදීමේ උපාය මාර්ග සහ වී අලෙවි කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ගොයම් කහවීමේ රෝගය ඇති වීමට ප්‍රධාන හේතුව  ගොවීන් මඩ පොහොර භාවිතය අඩුවීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇති අතර, ඉදිරි යල කන්නයේදී මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

කාබනික හා රසායනික පොහොර සමාගම් විවිධ මතවල සිට පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරන බවත්, මේ සම්බන්ධව කටයුතු කරන විවිධ විද්වතුන් හා ආයතන එක්ව තනි මතයක සිට කටයුතු කිරීම යෝග්‍ය බවත් මෙහිදී සඳහන් කෙරුණා.

විශේෂයෙන් ඉදිරි යල කන්නයේ පොහොර භාවිතය පිළිබඳ මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වූ අතර මහ කන්නයේ පැවති  මිලට වඩා අඩු මිලකට ගොවි ජනතාවට පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ වැදගත්කම  සාගල රත්නායක මහතා විසින් පෙන්වා දෙනු ලැබුවා.

මෙම සාකච්ඡාවට  එක්ව සිටි පොහොර සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ ගොවියාට අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදන ඉහළ නංවාගත හැකි අන්දමින් පසට යෝග්‍ය බෝග වර්ග හා සුදුසු කෘෂි යෙදවුම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා නිර්දේශ කරීමට හැකි නම් යෙදවුමට සරිලන නිමවුමක් ගොවීන්ට ලබා ගත හැකි බවයි.

පැවති අභියෝග මධ්‍යයේ වුවද දැනට වෙළෙඳ පොළ අවශ්‍යතාව ඉක්මවා හොඳ වී අස්වැන්නක් පසුගිය යල සහ මහ කන්නවලදී ලබා දීමට  අපේ ගොවි ජනතාවට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නා.

සහල් අතිරික්තයක් පවතින මෙම අවස්ථාවේ ගබඩාවල ඇති පරණ වී තොග සත්ත්ව ආහාරවලට අලෙවි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර
එමගින් වී සඳහා ඉහළ මිලක් ලැබීම මෙන්ම  වෙළෙඳ පොළේ බිත්තර හා කුකුළු මස්වල මිල පහත වැටීම සිදුවන බවත් සඳහන් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරුන් ද,   කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් සහ කාබනික හා රසායනික පොහොර සමාගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්