ණය අපේක්ෂා කරන රටවල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ණය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් වන මෙම සාකච්ඡාවට චීනය හා ඇමෙරිකාව සහභාගී වන්නේ පළමු වරටයි. ඊට අමතරව ඉන්දියාව, සෞදි ආරාබිය හා ජී 7 රටවලට අයත් නිලධාරීන් විඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා සහභාගී වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජී 20 රටවලින් ණය අයදුම්කර ඇති ඉතියෝපියාව, සැම්බියාව, ඝහනාව හා ශ්‍රී ලංකාව ඉක්වදෝරය වැනි මධ්‍ය ආදායම් සහිත රටවල් ද ඊට සහභාගී වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව හා ජී 20 සංවිධානයේ වත්මන් නායකත්වය හොබවන ඉන්දියාව මෙම සාකච්ඡාවේ සම සභාපතීත්වය උසුලනවා. ජී 20 සංවිධානයට අයත් රටවල මූල්‍ය නිලධාරීන් ඉන්දියාවේ බෙංගලූරු නගරයේ දී හමුවීමට නියමිතව තිබියදීයි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ.