fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශගුණික විපර්යාස අධ්‍යයන සඳහා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ ශ්‍රී ලංකා යෝජනාවට දකුණු ආසියාතික රටවල ප්‍රසාදය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:48

දේශගුණික විපර්යාස අධ්‍යයන සඳහා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ ශ්‍රී ලංකා යෝජනාවට දකුණු ආසියාතික රටවල  ප්‍රසාදය

භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බීර් රායි මහතා අද (07) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා, ආයෝජන හැකියාව සහ කලාපීය ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.

දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ අනෙකුත් පාඨමාලා හැදෑරීමට භූතාන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තුතිය පුද කළ අමාත්‍යවරයා යුනෙස්කෝ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති දකුණු ආසියාතික ගුරු අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය වෙත භූතාන ගුරුවරුන් සහ අධ්‍යාපනඥයන් යොමුකිරීමට ද කැමැත්ත පළ කළේය.

දේශගුණික විපර්යාස අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී භූතාන අමාත්‍යවරයා දැනුවත් කළ අතර එය දකුණු ආසියාවේ මෙන්ම අනෙකුත් රටවලට ද ප්‍රතිලාභ අත්වන විශිෂ්ට පියවරක් වනු ඇතැයි ඇමැතිවරයා සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා කොළඹට පැමිණි අවස්ථාවේ තමා හමුවූ දකුණු ආසියාතික අමාත්‍යවරුන් සියලු දෙනාම මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා එම සියලු රටවල පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ භූතාන තානාපති රින්චෙන් කුයින්සිල් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2023 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්