fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 14:54

“ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සියලුම නර්ථන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විතව පැවැත්වුණු “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ඊයේ (03) රාත්‍රියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී විචිත්‍රවත්ව පැවැත්විණි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් 08ක් ඒකාබද්ධව “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පැවැත්විණි.

මෙහි පිටපත සහ පද රචනය ගයා රම්‍ය අල්විස් මහතාගෙන් වන අතර සංගීතය ජානක ෆොන්සේකාගෙනි. නර්තන වින්‍යාසය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය කරුණාරත්න බණ්ඩාරයන් සහ ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් සිදු කර තිබිණි.

සැබැවින්ම නිදහස යනු කුමක්ද? එය ළඟා කර ගත හැක්කේ කෙසේද? ඇමරිකානු ලේඛක විලියම් ෆෝක්නර් ඉදිරිපත් කරන අදහසට අනුව නිදහස ලඟා කර ගත හැක්කේ නිදහස කෑ ගසා ඉල්ලා සිටීමෙන් ම පමණක් නොව නිදහස උදෙසා ඇති පුහුණුවෙනි.නිදහස නම් වූ ඒ අපූර්ව සංකල්පය දරා සිටින්නට අපට මනා පුරුද්දක් පුහුණුවක් තිබේද? අධිරාජ්‍යවාදී බළමුළුවලට නතුව ගෙවී ගිය යුගය නිමාවට පත් වුව ද අප සැබෑ නිදහස භුක්ති විඳීමේ පුරුද්ද ඇති කර ගත්තේ ද? නිදහසින් පසු හැත්තෑපස් වසරක් ගෙවා හමාර කරන අපි, සැබෑ නිදහසක් ලබන්නට කෙසේ වෙනස් විය යුතුද? එළැඹෙන (2023-2048) නව සියවසක හැරවුම් ගමන් මඟ කටු කොහොල් පාදා ගන්නට නම් අප වෙනස් විය යුත්තේ කෙසේද? එකී පරිවර්ථනයක් උදෙසා ඇරඹෙන ගමන් මගෙහි ආරම්භක සංඥාව “ලංකාරලංකා” නාද පෙළහරින් සනිටුහන් කෙරිණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද තානාපතිවරු,මහකොමසාරිස්වරු ප්‍රමුඛ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරටට පැමිණි විදෙස් අමාත්‍යවරු ප්‍රමුඛ නියෝජිතයන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරින්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්