මහානායක හිමිවරුන්ගේ නිදහස් දින පණිවුඩ
Related Articles
යහපත හා අයහපත පිළිබද මනා අවබෝධයකින් යුතුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුම අත්වැල් බැදගත යුතු බව ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහානායක ස්වාමීන් වහන්සේ මෙන්ම විවිධ ආගමික නායකයින් ද නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබුණා.
පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ලත් මෙම ධර්මද්වීපය පෞඩ අතීතයකට හිමිකම් කියනවා. එම අතීතයේ උගත් පාඩම් මත පදනම්ව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. පටු දේශපාලන න්‍යාය පත්‍රයන් හා අවස්ථාවාදී ආර්ථික ප්‍රතිපත්තීන් හේතුවෙන් අද වන විට අපගේ දේශය අර්බුද රැසකට මුහුණ දී සිටින බවද මහනායක ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා.
නිවහල් ජාතියක් ලෙස ජිවත්වූ ලක්වැසි ජනතාව යම් යම් අවස්ථාවලදී බලලෝභී ජනප්‍රධානීන්ගේ අඥාන ක්‍රියාකළාපයන් නිසා ගැටලු රැසක් උද්ගතව ඇති බවද අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා. අතීතයේ සිදුවූ විවිධ ආක්‍රමණවලදී ඒවා ජය ගැනීමට හැකිවූයේ ජාතිකාභිමානයෙන් ක්‍රියා කිරීම තුළින් බව අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. අභිමානවත් දේශයක් ලෙස සාමුහිකත්වයෙන් ජීවත්වීමේ ඇති වටිනාකම අප සියලු දෙනා තේරුම්ගත යුතුව ඇති බව මහානායක ස්වාමීන් වහන්සේ සදහන් කරනවා.
නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන රාමඤ්ඤ නිකායේ මහානායක ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුළෑවේ විමල ස්වාමීන් වහන්සේ රටකට පූර්ණ වශයෙන් නිදහස ලබාගත හැකි වන්නේ ආර්ථික නිදහසක් ලබා ගැනීමෙන් පමණක් බව පෙන්වා දෙනවා. ස්වභාවික සම්පත්වලින් අනූන සුන්දර දිවයිනකට උරුමකම් කීමට අපට හැකි වුවද වර්තමානය වන විට එම උරුමය අහිමි කර ගනිමින් සිටින බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ
75 වසරක අතීතය ඔස්සේ අනාගතය කරා නෙත් යොමු කරන අප අතීතයේ පාඩම් කෙරෙහි මනා අවධානයක් යොමු කල යුතු බව නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරන කොළඹ රදගුරු දුෂාන්ත රොඩ්රිගෝ හිමිපාණන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ සභාපති එබනේසර් ජෝසප් හිමිපාණන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජාතිය නව යුගයක් කරා යොමුකර වීමට මෙවර නිදහස් දින සංවත්සරය උත්තේජනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
ජාතික සහයෝගීතාව හා දේශපාලන එක්සත් භාවය ශක්තිමත් කිරීම දක්වා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී විකාශනය තවදුරටත් ප්‍රගුණ කිරීමට ජනතාව පණගැන්විය යුතු බව ස්වාමී අක්ෂරත්මානන්ද තුමන් ප්‍රකාශ කරනවා.
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයද සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් නිදහස දිනාගැනීම වෙනුවෙන් කැපවීම් සිදුකළ සියලු දෙනාට කෘතඥතාව පළකරනවාත.