fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමුහික විසඳුමකට අත්වැල් බැඳගන්නා ලෙස ගැටළුවලට මුහුණ දී සිටින සියලු රටවලින් ජනපති ඉල්ලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 11:12

සාමුහික විසඳුමකට අත්වැල් බැඳගන්නා ලෙස ගැටළුවලට මුහුණ දී සිටින සියලු රටවලින් ජනපති ඉල්ලයි

ගැටලුවලට මුහුණ දී සිටින සියලු රටවල් සාමූහික විසඳුමකට අත්වැල් බැඳ ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොදු ගැටලුවලට ඇති වැදගත්ම විසඳුම එය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අප්‍රිකා රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා මුණ ගැසුනා. ඒ ජනාධිපති කාර්යාලයේදී. රට තුළ සාමය පවත්වා ගැනීමට ජනාධිපතිතුමා ගත් උත්සාහය අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ විශේෂ ඇගයීමට ලක් වුණා.  චීනය හා නැගෙනහිර ආසියාවේ බලය වර්ධනය වෙමින් පවතින අතර මේ සියවස අවසානයේ ඉන්දියාව හා අප්‍රිකාව ඔවුන් අනුගමනය කරනු ඇති බවයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් මෙම රටවල් සමග සබදතා ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා. සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු රටවල් එකිනෙකා සමඟ සිටි බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. අප්‍රිකානු කලාපය සමඟ මෙරට සැළකිය යුතු ආර්ථික සබදතාවක් පවත්වාගෙන යන බවත් එය වර්ධනය කිරීම තම අරමුණ බවත් ජනාධිපතිතුමා අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නා.

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමටත්, ආර්ථික සහයෝගීතාව සහ ආයෝජන ඉලක්ක කරගත් සබඳතා ශක්තිමත් කිරීමටත් දකුණු අප්‍රිකානු සහාය ශ්‍රී ලංකාවට සෑම විටම හිමිවන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය අගය කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවේ කියා සිටියේ. මේ වන විට බටහිර සිට නැගෙනහිරටත් ආසියාව සහ අප්‍රිකාවටත් බලය මාරුවෙමින් පවතින අතර එම බල පෙරළිය අඛණ්ඩවම පැවතිය යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා. යුක්රේන යුද්ධය සහ තායිවානයේ උද්ගත වෙමින් පවතින තත්ත්වය පිළිබඳවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට කිසිඳු අයුරකින් ශ්‍රී ලංකාව ඊට සම්බන්ධ නොවන බවද අවධාරණය කළා. දේශගුණික විපර්යාස වැනි පොදු අභියෝගවලට මුහුණ දීමේදී පවතින අඩු අවධානය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ වෙනුවෙන් හඩ අවදි කළ යුතු බවද පෙන්වා දුන්නා. අප්‍රිකානු කලාපයේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට කළ හැකි ඕනෑම උපකාරයක් කිරීමට සුදානම් බවයි ජනාධිපතිතුමා අප්‍රිකානු කලාපයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවේ වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍ය අලි සබ්රි, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2023 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්