ගිලුනු සහ හිමිකාරීත්වය නොමැති නැව්වලින් රජයට උපරිම ආදායමක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අයත් සීමාව තුළ විවිධ අවස්ථාවන්වලදී ගිලී මුහුදුබත් වී තිබෙන නෞකාවන් සංඛ්‍යාව හතළිස් හතක් පමණ වනවා.
මෙහි එක් නෞකාවක් උපයෝගී කරගනිමින් දේශීය ආර්ථිකයට උපරිම ආදායමක් උපයා ගැනීමටත් අවශ්‍ය නම් එම නෞකා සංරක්ෂණය කිරිම සදහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් අද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. දැනට මෙසේ මුහුදු බත් වී ඇති නෞකා දැක බලා ගැනීම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් විශාල උනන්දුවක් දක්වනවා.
මේ නිසා මුහුදු පතුලේ කිමිද ඒවා ඡායාරූපගත කිරීම හා ගවේෂණය කිරිම සදහා ජාත්‍යන්තර කණ්ඩායම් රාශියක් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය හමුවේ අදාළ නෞකා සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය නාවික හමුදාව හා පෞද්ගලික අංශයේ සංචාරක සමාගම්ද සම්බන්ධ කරගනිමින් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.
එමෙන්ම කෞතුක වටිනාකමක් නොමැති නෞකාවන් අබලි ද්‍රව්‍ය ලෙස විකුණා එම මුදල් රජයේ ගිණුමට බැර කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වුණා.
සමුද්‍රීය නීතියට අනුව වසරක කාලයක් ඇතුළත ගිලුනු නැවක් පිළිබද අයිතිවාසිකම් ඉදිරිපත් කර නොමැති නම් එම නැවේ හිමිකාරීත්වය අයත් වන්නේ සමුද්‍ර තීරය අයිති රජයට බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එමෙන්ම කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය යන වරායන්වලද නෞකා හයක් නැංගුරම් ලා පවතී.
වසර හයක කාලයක් පමණ මෙසේ නැංගුරම් ලා තිබෙන නෞකා නිසා වරාය කටයුතුවලටද බාධා පැමිණ ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ.
මේ නිසා මෙම නැව් මගින් විශාල මුදල් ප්‍රමාණයක් වරාය අධිකාරියට උපයා ගැනීමටද හැකියාව පවතී.
එම නිසා ඉතා කඩිනමින් නීති කටයුතු කඩිනම් කරමින් මුදල් අය කර ගන්නා ලෙසට අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ නිලධාරීන්ට නියෝග ලබා දුන්නා.
සමුද්‍රීය පාරිසරික දූෂණයක් නොවන ආකාරයට මෙම කටයුතු සිදු කිරීමටද මෙහිදී උපදෙස් ලබා දී තිබුණා.