මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් මිල්කෝ ආයතනය සත්ව ආහාර සඳහා අලෙවි කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මිල්කෝ සමාගම මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙට්‍රික් ටොන් 635 ක කිරිපිටි තොගයක් සත්ව ආහාර සඳහා සමාගමකට අනුමැතියකින් තොරව අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
කිරිපිටි තොගය අදාළ සමාගමට අලෙවි කිරීමට පියවර ගෙන තිබියදී එම කටයුතු වහා අත්හිටුවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට කමිටුවක් පත්කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබුණා.
ඒ අනුව පත් කළ විමර්ශන කමිටුව නිර්දේශ කර තිබුණේ එම කිරිපිටි තොගය එක් සමාගමකට පමණක් අලෙවි කිරීම අත්හිටුවන ලෙසයි.
එසේ තිබියදී මිල්කෝ සමාගමේ ඉහළ බලධාරීන් අධ්යක්ෂ මණ්ඩල අනුමැතියක් මත අදාළ කිරිපිටි තොගය ඔවුන් තීරණය කළ සමාගමටම අලෙවිකර තිබෙනවා.
අමාත්‍යංශ ලේකම්වරයා පත් කළ විමර්ශන කමිටුවේ නිර්දේශ නොසලකා හරිමින් මිල්කෝ සමාගම කළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වහාම නිදහසට කරුණු දක්වන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා මිල්කෝ ආයතනයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
මෙම කාරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.